Sunday, November 17, 2024

General line - 0115112241

ඉතිහාසය වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් ධවල මන්දිරයේ පත් කිරීමක්




ඇමරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් පත් කරන බවට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 27 හැවිරිදි ඇය ධවල මන්දිරයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මීට පෙර ධවල මන්දිරයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරයා වූයේ හිටපු ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ගේ පාලන කාලයේදී සේවය කල 29 හැවිරිදි රොන් සීග්ලර්යි. 

ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක් වූ කැරොලයින් ලෙවිට් දක්ෂ සන්නිවේදන හැකියාවක් සහිත තරුණියක් බවයි වාර්තා වන්නේ.

ඇය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ විශිෂ්ට කාර්යයක් ඉටු කර තිබෙනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරිය වශයෙන්ද දැඩි කැපවීමකින් ඇය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

මීට පෙර ද ට්‍රම්ප්ගේ පාලන කාලයේදී  ධවල මන්දිර මාධ්‍ය කාර්යාලයේ සේවය කළ ඇය කොන්ග්‍රසයේ අපේක්ෂිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් කැරොලයින් ලෙවිට් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් වෙත තබන ලද විශ්වාසය වෙනුවෙන් සිය ට්විටර් ගිණුමේ ස්තුති කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.