ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. මෙරට අගවිනිසුරු ධූරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වුණා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධූරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කළා.
1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා තිබෙනවා.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30 කට වැඩි කාලයක් එහි සේවය කළා.
2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඇය පත් කර තිබෙනවා. මුර්දු ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වනවා.
මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා.