Monday, December 2, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ලබාදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

උදය කුමාර




අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ  ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. 

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. 

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා. 

එමෙන්ම මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා. 

ඉන් අනතුරුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමට ද නියෝග කෙරුණා.