බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසෙන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් සමඟයි.
එහිදී පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි එම ස්ථානයේ සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පාසල් සංවර්ධන නිලධාරින් වහා ගුරු සේවයට බඳවා ගන්නා ලෙස බල කරමින් ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරි එකමුතුව මෙම විරෝධතාව සංවිධාන කර තිබෙනවා.
ඔවුන් බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යංශය වෙත පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරතව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.