Thursday, December 5, 2024

General line - 0115112241

දකුණු කොරියානු ජනපතිට ඉවත් වන්නැයි ජනතාව වීදි බසී




දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ජනතාව වීදි බසිමින් සිටිනවා. 

ඒ, ජනාධිපතිවරයා විසින් එරට ට යුද නීතිය පැනවීමත් සමග මතුවූ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින්.

මෙම අර්බුදය ආරම්භ වූයේ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් උතුරු කොරියානු කොමියුනිස්ට් බළකාවලින් රට ආරක්ෂා කරගැනීමටත් රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමටත් යැයි පවසමින් එරට ට යුද නීතිය පැනවීමත් සමගයි. 

එහෙත් ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පැය දෙකකටත් අඩු කාලයකට පසු, එරට මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරුද්ධව දකුණු කොරියාව ජාතික සභාවට රැස්වී ඔහුගේ පියවර වැලැක්වීමට ඡන්දය ප්‍රකාශ ප්‍රකාශ කළා. 

පසුව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට සිදු වුණේ ඔහු පැනවූ යුද නීතිය ඔහුටම ඉවත් කිරීමටයි.

කෙසේවෙතත් දකුණු කොරියානු ජනපතිවරයාගේ එම තීරණයට එරට විපක්ෂයෙන් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද දැඩි විරෝධයක් එල්ල වුණා. 

විරෝධතාකරුවන් වීදි බැස සිය විරෝධතාවල නිරත වූ අතර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්ද සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුද නීතිය පැනවීමත් සමග විරෝධතාකරුවන් දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටද විරෝධතාවල නිරත වුණා.