දකුණු කොරියාවේ මුආන් ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරෙන් යානයේ සිටි පුද්ගලයන් 181 දෙනාගේ පුද්ගලයින් 179 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ගිනි නිවන හමුදාව තහවුරු කර තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 84 ක් සහ කාන්තාවන් 85 ක් වන අතර පුද්ගලයින් 10 දෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙතෙක් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.
එරට ගිනි නිවන හමුදාව පැවසුවේ අනතුරට ලක් වූ ‘ජේජු එයාර්’ ගුවන් යානයේ සිටි ලාබාලතම මගියා තුන් හැවිරිදි දරුවෙකු වන අතර වැඩිමහල්ම පුද්ගලයා 78 හැවිරිදි වියේ පසු වූ බවයි.
කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වන පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් අනතුරෙන් දිවි ගලවාගෙන රෝහල් ගත කර තිබෙනවා.
‘ජේජු එයර්’ ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් වනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ගුවන් යානය මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වමින් සිටියදී ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.
1997 වසරේ කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවාම් වනාන්තරයට කඩා වැටීමෙන් පුද්ගලයන් 228 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එම ගුවන් අනතුරට පසු දකුණු කොරියාවට බලපෑ මාරාන්තික ගුවන් අනතුර වන්නේ මෙම ‘ජේජු ගුවන්’ අනතුරයි.
ගුවන් අනතුරෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා දකුණු කොරියාවේ ජියෝලා පළාතේ සතියක ශෝක කාලයක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.