Sunday, January 5, 2025

General line - 0115112241

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක්




ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මතයි. 

මහමඟ ජීවිත සුරක්‍ෂිත කරමින් රථවාහන පාලනය හා ආරක්‍ෂාව සැලසීමේ අරමුණින් එම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

එහිදී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන සවිරාම වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, නීතිවිරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී නලා සවිකිරීම් සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ. 

එමෙන්ම අධික ශබ්ද සහිත සයිලන්සර් අනතුරු සහ අලාභ ඉහළ යන ආකාරයෙන් අන්තරාදායක ලෙස අමතර කොටස් සවි කර ඇති වාහන කෙරෙහිද එහිදී අවධානය යොමු කෙරෙනවා.

නීති විරෝධී සවිකිරීම් සමගින් රථ වාහන මාර්ගයේ ධාවනය කිරීම, එම රථය තුළ සිටින තැනැත්තන්ට හෝ මාර්ග භාවිත කරන යම් තැනැත්තෙකට අනතුරක්, අපහසුවක්, කරදරයක් හෝ හානියක් සිදුකිරීමට ඉඩ ඇති තත්ත්වයක් වනවා. 

එලෙස නීති විරෝධි සවි කිරීම් සහිතව රථ වාහන මාර්ගයේ ගමන් කිරීම බහුල දසුනක් වුවද මාර්ගවල රථ වාහන රාජකාරී නිරත රථ වාහන නිලධාරීන් ඒ පිළිබද කිසිදු අවධානයක් යොමු නොකර නොදැක්කා සේ හිදිමින් නීති ක්‍රියාත්මක නොකිරීම් වාර්තා වන බවද වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙනවා. 
 

එවැනි තත්ත්වයන් ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිනාමයයට විශාල හානියක් සිදුවනවාසේම එවැනි තත්ත්වයන් ප්‍රවර්ධනය කිරීමක්ද සිදුවනවා. 

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සෑම පොලිස් බලප්‍රදේශයකම දිනකට පැය 3 බැගින් මෙහෙයුම් දෙකක් සිදුකළ යුතු බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා  විසින් ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත්තේ.

සුදුසු ස්ථාන තෝරා ගනිමින් මෙහෙයුම් සිදුකිරීම රථ වාහන ස්ථානාධිපතිවරුන්ගේ වගකීමක් වනවා. 

එහෙත් පොදු ප්‍රවාහන සේවා රථ පරීක්‍ෂා කිරීමේදී මගීන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ. 

නීතිවිරෝධී සවි කිරීම් සමගින් ධාවන වන රථවාහන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසද දැනුම් දි තිබෙනවා. 

එමෙන්ම එම විශේෂ රථ වාහන මෙහෙයුමට අදාළව සෑම සතියකට වරක් කොට්ඨාශ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් කොට්ඨාශ භාර නිලධාරියාගේ අත්සනින් යුතුව වාර්තාවක් සකස් කර රථ වාහන මූලස්ථානය වෙත යොමු කළ යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.