Tuesday, January 7, 2025

General line - 0115112241

තේ කඩන වතු කම්කරුවන්ට සෙවනක්

රංජිත් රාජපක්ෂ




තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හඳුන්වා දීමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ‘ස්ටොක්හොම්’ වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. 

තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන්ට අව්වෙන් හෝ වැස්සෙන් පිඩාවට පත් නොවී පහසුවෙන් තේ දළු නෙලීිම සඳහා මෙම කුඩය හඳුන්වා දුන් බවයි එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර මහතා කියා සිටියේ. 

එම වතුයායේ තාක්ෂණ නිලධාරින් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය හඳුන්වා දුන් බවද ඔහු පැවසුවා.

එම කුඩයට බඳ පටි සකස් කර ඇති බැවින් කිසිදු පිඩාවකින් සහ මහන්සියකින් තොරව තේ දළු නෙලීමට හැකි බවයි වතු කම්කරුවන් පැවසුවේ.

රුපියල් 1,600ක පමණ පිරිවැයක් දරා නිර්මාණය කළ එම කුඩය වතු කම්කරුවන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි වතු අධිකාරිවරයා සඳහන් කළේ. 

වතු කම්කරුවන්ට හඳුන්වා දුන් කුඩය සඳහා පේටන් බලපත්‍රයක් ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.