Wednesday, January 8, 2025

General line - 0115112241

පසුගිය වසරේ රිය අනතුරුවලින් 2,359කට දිවි අහිමි වෙයි




පසුගිය වසරේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,359 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. 

එම වසර තුළ සිදුව ඇති සමස්ත අනතුරු සංඛ්‍යාව 24,589ක්. ඉන් 2,253ක් මාරක රිය අනතුරු වනවා. පසුගිය වසරේ සිදුවූ අනතුරුවලින් බරපතල තුවාල සිදුවීම් 6,762ක් වාර්තා වූ බවයි පොලීසිය පැවසුවේ.

 රිය අනතුරුවලින් සුළු තුවාල 9,945ක් සහ දේපළ හානි 5,629ක් වාර්තා වී තිබෙනවා. 2023 වසරේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,321 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස 11 තුළ බස් රථ අනතුරු 2,005ක් වාර්තා වී ඇති බව පොලීසිය පැවසුවා. 

ඉන් ජීවිතක්‍ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 198ක්. වැඩිම අනතුරුවලට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයි. එම අනතුරු 1,490ක් වාර්තා වී ඇති අතර එහිදී පුද්ගලයින් 148 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව පොලීසිය පොලීසිය විසින් දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

එහි පළමු මෙහෙයුම මඟින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, ඇතුළු අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.

දෙවන මෙහෙයුම මඟින් උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් බස්රථ රියදුරන් මෙන්ම ත්‍රීරෝදරථ රියදුරන් විරෝධය පළ කරනවා. නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් එම මෙහෙයුම් සම්බන්ධයෙන් අද සාකච්ඡා කෙරුණා. 

මේ එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා. 

බස්රථ රියදුරන් කිහිපදෙනෙකුද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

ත්‍රීරෝදරථ රියදුරන් කිහිපදෙනෙකුද අදහස් දැක්වුවා.