නීති විරෝධී ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ තැන්පතු මුදල් ලබාගෙන රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අඹුසැමි යුවලක් ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊළඟ දින කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අන්තර්ජාලය හරහා මුදල් තැන්පතු භාරගෙන මෙම සැකකරුවන් විසින් රුපියල් කෝටි 260කට අධික මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී ඇතැයි සඳහන් කළා.