රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් ශාඛාවේ නිලධාරීන් අතර හා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) දින දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී පළාත තුල තම රාජකාරි ඉටු කිරීමේ දී තමන්ට මුහුණ පෑමට සිදු වන කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් අනුරාධපුර, පොලොන්නරුව වැනි දුර පළාත් වලින් පැමිණ රාජකාරි ඉටු කිරීමේදී තමන්ට ලැබෙන නිල නිවාස හිඟ වීම, තිබෙන නිවාස දෝෂ සහගත වීම නිසා ඇති වන දුෂ්කරතා, රෝහල්වලට පැමිණෙන රෝගීන්ට සේවය සැපයීමට අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර කිහිපයක පවතින අඩුපාඩු හා රෝහල්වල විවිධ තනතුරු වල ඇති පුරප්පාඩු හා සේවාවන් පුළුල් කිරීමේදී ඇතිවී තිබෙන සේවක හිඟතාවය ඇතුළු කරුණි රාශියක් පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමන් කියා සිටියේ“දැනට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟයක්ද පවතින බැවින් පළාත් සභාව යටතේ සේවයෙන් විශ්‍රාම ලැබූ පවුල් සෞඛ්‍ය සේවිකාවන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන රාජකාරි කිරීම සඳහා යොදවන බවයි. රජය ගෙන ඇති තීරණයක් වන වෘත්තීයමය රැකියා සඳහා අදාල වෘත්තීය නිපුණතාවයන් සපුරා තිබෙන පිරිස් බඳවා ගන්න. දැනට ලෝකයේ දියුණු සෞඛ්‍ය වෛද්‍ය ක්‍රමයක් පවතිනවා. නමුත් සමහර ජන කොටස් ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් යටතේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නතක් පවා ලබා ගන්නෙ නෑ. එහෙම කරලා යම් කරදරයකට මුහුණ දුන් විට සෞඛ්‍ය අංශ වලට චෝදනා කරනවා” යනුවෙනි.
මෙම අවස්ථාවට එක් වෙමින් ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කියා සිටියේ “ ජනතාවට සෞඛ්‍ය පද්ධති තුලට ඇතුළු වීමේ ක්‍රමවේදයන් නැහැ. ඉදිරියේදී වැඩි දියුණු කරන ලද පහසුකම් සහිත සෞඛ්‍ය සේවයක් ලබා දීමට කටයුතු කරනවා. සෞඛ්‍ය පද්ධතියට ඇතුලත් වීමේ ක්‍රමවේදයක්ද සකසනවා. ඒ සඳහා ඔබලා සාධනීය වූ යෝජනා ලබා දෙන්න. මේ පිළිබඳ වෛද්‍යවරුන් ඇතුළු පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අංශයේ පුරප්පාඩු වල ගැටළු ඇත්නම් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා විසඳගමු ” යනුවෙනි.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික සමරකෝන්, දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී.බී.විමලසේන යන මහත්වරුන්ද, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුළු රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.