Wednesday, January 8, 2025

General line - 0115112241

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද




නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව අද රැස් වනවා. 

ඒ අනුව මෙම සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් අද සිට ලබන 10 වන සිකුරාදා දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා. 

ඒ අනුව අද පෙරවරු 9යි 30 සිට පෙරවරු 10යි 30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

පෙරවරු 10යි 30 සිට පස්වරු 5යි 30 දක්වා රජය විසින් ගෙන එනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. 

හෙට දිනයේ පෙරවරු 9යි 30 සිට පෙරවරු 10 දක්වා කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා. 

ඉන් අනතුරුව පෙරවරු 10 සිට පෙරවරු 10යි 30 කාලය කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි. 

ඉන්පසු පෙරවරු 10යි 30 සිට පස්වරු 05 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි. 

එමෙන්ම වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි හෙට දිනයේ විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා. 

ජනවාරි 9 වනදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතයි. 

ජනවාරි 10 වනදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා වෙන් කර තිබෙනවා.