Thursday, January 16, 2025

General line - 0115112241

මන්නාරම අධිකරණය අසල වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළි වෙයි




මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. 

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 

වෙඩි ප්‍රහාරයට   ලක් වූ සිව්දෙනා මන්නාරම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇති බවත් තවත් එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකර යවා ඇති බවත් පොලිසිය සඳහන් කළා. 

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වයද අවුරුදු 42ක් සහ 60ක් වන උයිලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. 

එලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ නඩු කටයුතු සඳහා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙමින් සිටි සිව්දෙනෙක්. 

මියගිය පුද්ගලයින් දෙදෙනා සහ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාල නඩුවක සැකකරුවන් වන බවයි පොලිසිය පැවසුවේ. 

2022 වසරේ ජුනි මස 10 වනදා උයිලන්කුලම, නොච්චිකුලම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. 

මියගිය 42 හැවිරිදි පුද්ගලයා එම අපරාධයේ පළමු සැකකරු වන අතර ඔහු මන්නාරම මහාධිකරණයෙන් ඇප ලබා සිටි අයෙකු ද වනවා.

පසුගිය වසරේ පෙබරවාරි 19 වන දින උයිලන්කුලම, නොච්චිකුලම කනත්ත අසලදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම පුද්ගලයාට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේදි ඔහුට තුවාල කිසිවක් සිදුවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. 

2022 වසරේ ජූනි මස 04වනදා පැවති තිරික්කල් තරගයකදී දෙපාර්ශවය අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී එම මුල් ඝාතනය සිදුව ඇති බවද පොලිසිය පැවසුවා.

අද සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව වෙනත් නඩුවක් සඳහා අධිකරණ වෙත පැමිණි තැනැත්තියක බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොහුවල පොලිස් වසමේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ කොහුවල බුද්ධඝෝෂ විදුහල ආසන්නයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් වෙළඳසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.