Wednesday, January 29, 2025

General line - 0115112241

ඇප ලැබුණු යෝෂිතට තවත් විමර්ශනයක්

උදය කුමාර-එන් ඒ ඩබ් නිරෝෂන්




ඇප මත මුදාහැරුණු යෝෂිත රාජපක්ෂට එරෙහිව තවත් විමර්ශනයක් පැවැත්වෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. 

2006 වසරේ ලුතිතන්වරයකු ලෙස නාවික හමුදාවට බැඳුණු යෝෂිත රාජපක්ෂ 2016 වසරේ වැඩ තහනමට ලක්වූ බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ. 

ඒ අනුව එම කාලසීමාව තුළ ඔහු විසින් අයථා ලෙස අත්පත් කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් එලෙස විමර්ශනයක් සිදු කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා. 

යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහල නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කියා සිටියා.

රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාලව යෝෂිත රාජපක්ෂ බෙලිඅත්ත ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්. 

ඉන් අනතුරුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත එදිනම ඉදිරිපත් කරනු ලැබුවා. 

එහිදී අධිකරණය නියෝග කළේ යෝෂිත රාජපක්ෂ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. 

ඒ අනුව යෝෂිත රාජපක්ෂ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබුවා. 

යළිත් අද පෙරවරුවේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළා. 

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

ඔහුගේ විදෙස් ගමන් ද තහම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරුදින අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළ යුතු බවටත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙසටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් යෝෂිත රාජපක්ෂයට ඇප කොන්දේසි දෙකක් පනවනු ලැබුවා.
 

යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමෙන් අනතුරුව අධිකරණයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. 


මේ අතර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.