Thursday, September 19, 2024

General line - 0115112241

හොඳම නවකතාව “අහම්බකාරක”




2015 වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය, ලියනගේ අමරකීර්තිගේ “අහම්බකාරක” කෘතියට හිමි වුණා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (10) රාති‍්‍රයේ පැවති දස වන ස්වර්ණ පුස්තක සම්මාන උළලේදීයි.

මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුලගේ ‘මණික්කාවත’, සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ ‘දුල්වල අලංකාරේ’, එරික් ඉලයප්පආරච්චිගේ ‘පරදේසි’ සහ සුනේත‍්‍රා රාජකරුණානායකගේ ‘කොළඹයා සහ ෂැන්හයියා’ එම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ සෙසු කෘති වුණා.

සම්මාන හිමිකරගත් අහම්බකාරක ග‍්‍රන්ථය ලියූ ලියනගේ අමරකීර්ති නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ තමන් ආධුනික අයෙක් බවත් මෙවැනි සම්මානයක් ලැබීම තුළින් තමාගේ ලේඛණ අනාගතයට වඩාත් ශක්තියක් ලැබෙන බවයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සංවිධාන කෙරෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර සඳහන් කළේ සිංහල නවකතා කලාව නගාසිටුවීම ස්වර්ණ පුස්තක සම්මාන උළලේ මුඛ්‍ය අරමුණ බවයි.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් මස 16 වනදා සිට 25 වනදා දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ස්වර්ණ පුස්තක සම්මාන උළලේ සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝ අනුග‍්‍රාහකයා වන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.