Monday, September 23, 2024

General line - 0115112241

අදත් විදුලිය කපයි – අර්බුදයට අලුත් විසඳුමක් සොයයි




නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් අද (19) දිනයේ ද විදුලිය කපා හැරීමට සිදුවන බව විදුබල අමාත්‍යංශය පවසනවා. ඒ අනුව උදෑසන කාලයේ පැයක් ද රාත‍්‍රී කාලයේ පැය භාගයක් ද විදුලිය කපා හැරීම සිදුවනු ඇති.

විදුලිබල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටුණු යන්ත‍්‍ර යළි යථා තත්ත්වයට පත්කිරීම කඩිනමින් සිදුවන බවයි.

කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන මෙවැනි හදිසි බිඳවැටීම් ඉදිරියේදී වළක්වා ගැනීමට ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ද සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

එය සිදුකරනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම විසින්. නොරොච්චෝලේ බලාගාරය බිඳවැටුණු ද රටේම විදුලිබලය ඇණහිටීම දැන් වළක්වාගෙන ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ සඳහන් කළා.

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටුණු යන්ත‍්‍රවලින් එක් යන්ත‍්‍රයක් හෙට වන විට යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍යංශය විශ්වාසය පළ කරනවා.