Friday, May 3, 2024

General line - 0115112241

අද පුංචි දියපාරක් : මෙහෙම වෙලා නෑ කවදාවත් – සොඳුරු ‘බඹරකන්දට‘ අද අත්ව ඇති ඉරණමයි මේ (PHOTOS)



මාස කිහිපයක්‌ තිස්‌සේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ලද සිඳී ගොස්‌ තිබෙනවා.

ලංකාවේ උසම දිය ඇල්ල බඹර කන්ද වන අතර බඹර කන්ද දිය ඇල්ල ලොකයේ 48 වෙනියට උසම දිය ඇල්ලද වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හද්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බඹර කන්ද ටර් 240ක්, අඩි 790 උසකින් යුක්ත වේ.

ඇල්ල සිඳී ගොස්‌ ඇති නිසා එය නැරඹීමට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය ද අධික ලෙස පහත වැටී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් සංචාරකයන් හට වෙළෙඳාම් කරමින් දිවි ගෙවූ බොහෝ අයගේ ආර්ථිකය ද කඩා වැටී ඇත.

ඇල්ලෙහි පරිපාලන කටයුතු කරන සේවකයකු වන නිශාන්ත අජිත් මහතා මෙසේ පැවසීය.

‘‘මේ ප්‍රදේශයට මාස හයක කාලයක්‌ ඉඳලා වැස්‌සක්‌ නෑ. මේ හේතුවෙන් ඇල්ල පුංචි දිය පහරක්‌ වෙලා. මෙහෙම මේ ඇල්ල කවදාවත් හිඳිලා නැහැ. ඉස්‌සර දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ මෙතැන පිරිලා හිටියා. ඒත් ඇල්ලේ වතුර නැති නිසා කවුරුත් දැන් එන්නේ නැහැ. මෙහෙම වෙලා නෑ කවදාවත්. ඉස්‌සර නම් දවසකට අඩුම තරමේ දෙසීයක්‌වත් එනවා. දැන් ඉඳහිට කිහිපදෙනයි එන්නේ. ඇල්ල අවට ප්‍රදේශයට වගේම ඇල්ල ඉහළ බටහිර හපුතලේ ප්‍රදේශයටත් දැඩි නියං තත්ත්වයක්‌ තියෙන්නේ‘‘.

ඇල්ල අසල වෙළෙඳසලක්‌ පවත්වාගෙන යනු ලබන බී. ප්‍රේමාවතී මහත්මිය පවසන්නේ මෙවන් කතාවක්.

‘‘ඇල්ල බලන්න එන සංචාරකයන් නිසා ජීවිතය ගෙන යන ගොඩක්‌ අය මේ අවට ඉන්නවා. කෑම බීම සපයන වෙළෙඳසල් කිහිපයක්‌ තියෙනවා. තව ත්‍රී රෝද රථ හයර් කරලා ජීවත් වන අයත් ඉන්නවා. මම කුඩා කඩයක්‌ දාගෙන ඇල්ල බලන්න එන සංචාරකයන්ට රොටි වගේ ආහාර විකුණලා තමයි පවුල ජීවත් කරන්නේ. නමුත් දැන් ඇල්ල හිඳිලා නිසා සංචාරකයෝ එන්නේ ඉඳල හිටලා. ඒ හේතුවෙන් අපේ දෛනික ආදායම නැවතිලා. මේකෙන් ජීවත් වෙච්ච අපි දැන් දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ‘‘.

11