Monday, September 23, 2024

General line - 0115112241

“අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වයෙන් බැහැරවීමට කාටවත් ඉඩ තියන්නේ නැහැ”




රටේ සියලු ආයතන තුළ අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය තිබිය යුතු අතර ඉන් බැහැරව කටයුතු කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

තමා රට වෙනුවෙන් අනුගමනය කරන්නේ අපක්ෂපාතී මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ මහඔය ජල සම්පාදන ව්‍යාපෘතිය අද (19) ජනතා අයිතියට පවරා දෙමින් පැවැති උත්සවයකදීයි.

රටේ සංවර්ධනයට අවශ්‍ය සම්පත්, තාක්ෂණය, යන්ත‍්‍ර සුත‍්‍ර මෙන්ම රටේ ජනතාවට අහිමි කර තිබූ නිදහස් සමාජය තහවුරු කිරීමට ද පසුගිය මාස 17 ක් වැනි කෙටි කාලයක් තුළ රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළා.

2020 වන තෙක් වත්මන් ආණ්ඩුව සෙළවීමට කිසිවෙකුට නොහැකි අතර එහි ඉදිරි ගමන 2020 දී තීරණය කරන බව පැවසූ ජනාධිපතිතුමා අද ඕනෑම අයෙකුට ආණ්ඩුව හා තමා විවේචනය කිරීමට නිදහස තිබෙන බවත් 2015 ජනාධිපතිවරණයට පෙර තිබූ සුදු වෑන් සංස්කෘතිය වත්මන් රජය නිමා කර ඇති බවත් සඳහන් කළා.

සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කර ගනිමින් නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ජයිකා ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් මහඔය කලාපයේ ග‍්‍රාම සේවා වසම් 09 ක ප‍්‍රතිලාභීන් 14,000 කට සෙත සැළසෙනවා. මෙහි වියදම රුපියල් මිලියන දහසකි.

මේ අතර වසර කිහිපයක් පුරා පැවති පානීය ජල ගැටළුව විසඳමින් මහියංගනය හා රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වසම් 31 ක වෙසෙන 50,000 ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම ද සිදු වුණා.

ඕස්ට්‍රේලියානු ණය ආධාර මත රුපියල් මිලියන 3500 ක වියදමින් ඉදිකල ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතුලු නාගරික සැලසුම් හා ජලාපවාහන අමාත්‍ය රවුෆ් හකීම්, ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් අද දින මහියංගනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දී සිදු වුණා.

14797491_1671566729838596_2095366797_n 14801023_1671566219838647_1521257290_n 14801046_1671566216505314_1716548079_n