Monday, September 23, 2024

General line - 0115112241

ඩිල්රුක්ෂි ඇවිත් ගිහින් පැයෙන් මහින්දගෙන් මෛත්‍රීට කෝල් එකක්




රාජපක්ෂවරුන්ට අයත් බව කියන ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) අනාවරණය කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ‍පැවසුවේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම පරීක්ෂණ සඳහා සහය වන ලෙසට ඩුබායි වෙත යැවීමට සැකසූ ලිපියක් රැගෙන ජනාධිපතිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය අත්සන ගැනීම යනාදිය සිදුකරගෙන ගිය බවයි.

එසේ පිටත්ව ගිය පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ කිරීම සඳහා ලිපියකට අත්සන් තැබූවේදැයි විමසීමක් කර ඇතැයිද ඒ බව ජනාධිපතිවරයා තමන්ට පැවසුවේ යැයිද අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා.

මෙම සිද්ධියත් සමග දූෂණ වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල විනිවිධභාවය ගැන ගැටළු මතුවන්නේ යැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය විකෘති ලෙස පළකර ඇතැයිද මාධ්‍ය හමුවේදී චෝදනා කරමිනි.

(වීඩියෝව පහතින් දැක්වෙයි)