Tuesday, May 7, 2024

General line - 0115112241

දෙවියෝ මාව බලාගනීවි මහත්තයලා මේ ඉස්පිරිතාලෙ හදලා දහස් ගානක් ජීවිත බේර ගන්න – මිනිසුන් සුවපත් විය යුත්තේ මිනිසුන්ගෙන්ම බව පසක් කල යාචකයාගේ සංවේදී කතා පුවතයි මේ



කරාපිටිය රෝහලට පිළිකා ආයතනයක් ඉදිකිරිම සඳහා අධාර එකතු කිරීම වෙනුවෙන් පැවැත්වෙන trailsl පාගමන මේ දිනවල පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මෙයට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබනවා.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා යන මේ ගමනට මග දෙපස රැස්වුණ ලොකු කුඩා බාල මහළු සියලු දෙනා ඉතා උනන්දුවෙන් සිය සහයෝගය ලබාදෙන අයුරු දැකගත හැකිවුණා.

මෙම ගමන අතරතුරදී සිදුවූ ඉතා සංවේදී කතා පුවතක් trailsl ෆේස්බුක් පිටුවේ සටහන් වී තිබුණා.මේ ඒ කතාවයි..

මිනිසුන් තුල ඇති අප දැකීමට අතපසු කරන හෝ අපේ අවාසනාවට අපට අතපසු වන බොහෝ ගුණාංග මා තරණයේ දී දුටුවෙමි.අද දින ආධාර එකතු කරමින් යන අතරේ පාර අයිනේ සිටි යාචකයෙකු මා හට මුණ ගැසුනි.

ආබාධිත මෙන් ම දෛවෝපගත ලෙසින් ම පිළිකා රෝගය හා සටන් වැද ජය ගත්තෙකු ද වූ මේ අපූර්ව මිනිසා තම මුලු සන්තකයම බහා තිබූ බෙලෙක්ක කටුව තුල වූ රුපියල් 20 කොල කිහිපය සහ මාරු කාසි අතරින් බේරා, මහත් සැලකිල්ලෙන් අතට ගත් රුපියල් 100 කොලයක් මා අතට පත් කලේය.

ඔහුගේ බඩවියත වෙනුවෙන් තිබූ සොච්චම ද මා සන්තක කල බව හැඟී ගිය හෙයින් ඔහු එදා දිනය යැපෙන්නේ කෙසේ දැයි මටද නොදැනීම ඔහුගෙන් විමසුනි.

අව්‍යාජ සිනහවකින් මුව සරසා ගත් මෙම අපූර්ව මිනිසා “දෙවියෝ මාව බලාගනීවි, මහත්තයලා මේ ඉස්පිරිතාලෙ හදලා දහස් ගානක් ජීවිත බේර ගන්න.” යැයි පැවසුවේ මාගේ හදවත මොහොතකට නවතාලමිනි.අනාරාධිත කඳුලු කැට වලින් මාගේ දෙනෙත් තෙමී යද්දී ගොලු වූ මගේ මුව මත යලිත් මදහසක් නංවමින් ඔහු සැහැල්ලු සිතින් මෙසේ විමසුවේය.

“මහත්තයගෙ වගේ අත් දෙකක් හදාගන්න කොච්චර කාලයක් යනවාද?”

මිනිසුන් සුවපත් විය යුත්තේ මිනිසුන්ගෙන් ම බව මේ අහඹු යාචකයා යලි යලිත් මට පසක් කල අතර මෙවන් අහම්බයන්ගෙන් පිරුණු තරණය තුල හමුවූ සොඳුරු, අව්‍යාජ, එඩිතර හා පරාර්ථකාමී සරල මිනිසුන් මාගේ ජීවිතයේ නව පරිඡ්චේදයකට මේ වන විටත් මුලකුරු කියා අවසාන බව පමණක් ආඩම්බරයෙන් යුතුව මෙසේ සටහන් කර තබන්නෙමි.

14670669_1318360751549110_1195407303851274750_n