Tuesday, May 7, 2024

General line - 0115112241

මාලිංගගේ අවුල තවත් දිග්ගැස්සෙයි



ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග මේ වන විට අවුරද්දකට පමණ ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටිනවා.

ඒ පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙන්.

මාලිංගට මෙම වසර තුළදීද ක්‍රිකට් පිටියට එක්වීමේ අවස්ථාවක් නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් 100%ක් සුව නොවීම හේතුවෙනි.

ලසිත් මාලිංගගේ ආබාධය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ මෙම වසර අවසානයේ දියත්වන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බවයි.

එමෙන්ම මාලිංග මේ වනවිට සිය පුහුණුවීම් කෙටිකාලීනව ආරම්භ කර තිබුණද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මාලිංගගේ ආබාධය පිළිබඳව වැඩිදුර අදහස් පළකළ අර්ජුන ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“මාලිංගගේ ආබාධ තත්ත්වය දැන් බොහෝදුරට සුව තත්ත්වයක් පෙන්නුම් කරනවා. දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංග සියයට සියයක් සුවවේවි යැයි අපි අපේක්ෂා කරනවා. එසේම බොහෝදුරට මාලිංගට ක්‍රීඩා කරන්න වෙන්නෙ ලබන අවුරුද්ද මුල පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ එක්දින හා විස්සයි20 තරග සඳහායි. නොවැම්බර් මස පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කිරීමේ සම්භාවිතාව අවමයි. අපිට ස්ථිර වශයෙන් මාලිංග ක්‍රීඩා කරනවා යැයි නිර්දේශ කළ හැකි වන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියේ සිට” යැයි පැවසීය.