Friday, May 17, 2024

General line - 0115112241

දඩයක්කාරයා හමුවේ මරු වැළඳ ගත් ‘වන ජීවී නිලධාරියාගේ’ දුවටයි පුතුටයි අත්වන දුක්බර ඉරණම



වනජීවි නිලධාරීන් කීප දෙනෙක් පසුගිය 05 වැනිදා හම්බන්තොට වල්සපුගල වන රක්ෂිතයට පැමිණි අවස්ථාවේ අඩවි වන සහායක ජගත් සෙනෙවිරත්න දඩයක්කරුවකු සමග පොරබැදීමේ දී වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්වූ පුවත ඔබට මතක ඇති.

රාජකාරිය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ මේ නිලධාරියා වලස්මුල්ල හොරේවල පදිංචිකරුවෙකු වන අතර ඔහුට රුපියල් ලක්ෂ 3 ක වන්දියක් ලබා දීමටත් අවමඟුල් උත්සව කටයුතු වනජීවි අමාත්‍යාංශ මුදලින් ඉටුකිරීමටත් වනජීවි ඇමැතිවරයා පියවර ගෙන තිබුණා.

මේ අවුරුදු 41 ක නිලධාරියාට කුඩා දරුවන් දෙදෙනෙක් සිටින අතර ධනංජය පුතුට වයස අවුරුදු 7 ක් ද දිනේධ්‍යා දියණියට වයස අවුරුදු 2 ක් ද වනවා.

පියා අහිමි වූ මේ දරුවන්ට දැන් ජීවිතය ජය ගන්නට බොහෝ දුෂ්කර ගමන් මඟක් නිර්මාණය වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහුගේ වියෝවින් තනිවූ බිරිඳ මධුරංගි පුෂ්පා මේ සම්බන්ධයෙන් කියන්නේ මෙවන් කතාවක්.

“අපි දෙන්න ගොඩාක් මහන්සි වෙලා ගෙයක් හදාගත්තා. දරුවන් ගැන එයා හරිම සංවේදියි. ආදරෙයි. සතුන් රකින්න ගිහින් අද මගෙ මහත්තයා නැති වුණා. මගෙ කිරි සප්පයො අසරණ වුණා. අපි සල්ලිකාරයො නොවෙයි. මේ දරුවන් ලොකු මහත් කරගන්න දැන් අපට කාගේ පිහිට ද? එයා හැමෝම ගැන බැලුවා. එයාගෙ පවුලෙ අය ගැනත් සොයා බැලු කෙනෙක්. “

මියගිය ජගත් සෙනෙවිරත්න මහතාගේ සොයුරිය වන එච්. පී. චන්ද්‍රවතී මහත්මිය පවසන්නේ සිය පවුලට රැකවරණය සැලසුවේ මිය ගිය ජගත් බවයි.

“අපේ පවුලෙ පිරිමි හතර දෙනෙක් හා ගැහැනු හතර දෙනෙක්. අම්මව තාත්තව පවා බලාගත්තෙ මේ මල්ලි. මල්ලි පුංචි දවස්වල ඉඳන් සතුන්ට හරිම ආදරෙයි. දරුවන්ට විතරක් නොවෙයි පවුලෙ හැමෝම ගැන බැලු කෙනෙක්. පවුලෙ සමහර දරුවන්ට පොතපත පෑන පැන්සල අරන් දුන්නෙත් මල්ලි.”