Sunday, September 22, 2024

General line - 0115112241

ආණ්ඩුවට කට පරිස්සම් කර ගන්නා හැටි චීන තානාපති කියාදෙයි




වර්තමාන ආණ්ඩුවේම ඇමතිවරු චීනයෙන් වැඩි පොලියට ණය ලබාගත් බවට කරනු ලබන ප්‍රකාශවල කිසිඳු පදනමක් නැතැයි මෙරට චීන තානාපති ලී ෂියැන්ලිංග් පවසනවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායකටද කතාකොට, චීන රාජ්‍ය බැංකුවෙන් වැඩි පොලියට ණය ලබාගත් බවට වූ ප්‍රකාශ අසත්‍ය බවත් එවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසත් තමා ඉල්ලා සිටි බවද චීන තානාපතිවරයා ප්‍රකාශ කළා. ඊයේ (01) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළකළා.

චීන රාජ්‍ය බැංකුව තුන්වන ලෝකයේ රටවල්වලට ණය ලබාදෙන ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවටද  2% ක පොලියට වෙළඳ ණය ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී කිසිඳු රහස්‍යභාවයක් චීන රජය හා ශ්‍රී ලංකාව අතර නොතිබූ බවද තනාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

චීන රාජ්‍ය බැංකුව 2‍% ක ණය ලබාදුන්නද අද වන විට වෙනත් බැංකු ශ්‍රී ලංකාවට ණය ලබාදීමට සූදානම් වන්නේ ඊටත් වඩා වැඩි පොලියකටයි.

එසේ තිබියදී චීනයට සහ සිය රාජ්‍ය බැංකුවට වැඩි පොලියට ශ්‍රී ලංකාවට ණය ලබාදුන් බවට කරන චෝදනා අසථ්‍ය හා පදනම් විරහිත බවයි චීන තානාපති ලී ෂියැන්ලිංග් කියා සිටියේ.

එමෙන්ම තවදුරටත් ශ්‍රී ලංකාව චීන රාජ්‍ය බැංකුවෙන් ණය මුදල් ඉල්ලා සිටිද්දී ආණ්ඩුවේම දේශපාලන අධිකාරිය පොලී අනුපාත ගැන සඳහන් කරමින් චීනයට දෝෂාරෝපණය කරන්නේ මන්දැයි තමාට සිතාගැනීමටත් නොහැකි බව චීන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

නොරොච්චෝලේ බලාගාරයටද ඇතැම් අය කුමන චෝදනා කළත් චීන රජයේ මැදිහත්වීමෙන් එය ඉදිකිරීම තුළ ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුමට අද වන විට එය නැතුවම බැරි බලාගාරයක් බවට පත්ව තිබෙන බවද පෙන්වා දෙනවා.

පෝට් සිටි වැනි ව්‍යාපෘති නතර වුවහොත් ශ්‍රී ලාංකිකයින්ට විශාල රැකියා අවස්ථා අහිමිව යාමේ අවධානමක් තිබූ බවද තානාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා.