Sunday, September 22, 2024

General line - 0115112241

ගේට්ටු මුර කිරීම සිවිල් ආරක්ෂකයට – ජනතාවට වෙනදාට වඩා ආවධානයෙන් ඉන්නලු




දුම්රිය ගේට්ටුකරුවන්ගේ වැඩවර්ජනය හේතුවෙන් අනාරක්ෂිත වී ඇති ස්ථාන සඳහා සිවිල් ආරක්ෂක භටයින් යෙදවීමට පියවර ගන්නා බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අද (02) පෙරවරුවේ පොලිසිය සහ සිවිල් ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පොලිසීය, සිවිල් ආරක්ෂක අංශ ප්‍රධානීන්, කම්කරු දෙපාර්තමේන්තු නියෝජිතයින්, මහා භාණ්ඩාගාර නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු නිළධාරීන් මෙම සාකච්ඡාවට එක්වී සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු 676 ක් ඇති බවත් ඒවායේ සේවයේ යෙදී සිටින ගේට්ටුකරුවන්ගෙන් 25% ක ප්‍රමාණයක් වැඩ වර්ජනයේ යෙදී සිටින බවයි.

ඔවුන් ප්‍රථමයෙන් සේවයට එක් වුයේ ස්වේච්ඡා සේවකයින් වශයෙනි. නමුත් පසුව පොලීසිය මැදිහත්ව එම ස්ථාන අසල පදිංචිකරුවන්ට රුපියල් 22500 ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් ලබාදී ඒ කාර්යයයෙහි යෙදවු අතර එම ගේට්ටුකරුවන් කිසිසේත්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නොවන බවද එසේ බඳවා ගැනීමට ප්‍රතිපාදන නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් මෙම ගැටළු නිරාකරණය කර ගැනීමට අමාත්‍ය මණ්ඩල නිර්දේශය අනුව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් නොමැති අවස්ථාවල සිවිල් ආරක්ෂක භටයින් ඒ සඳහා යෙදවිය යුතු බවට කමිටු නිර්දේශය ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අනාරක්ෂිත ගේට්ටු 200ක් වෙනුවෙන් ස්වයංක්‍රීය විදුලි සංඥා පද්ධති වසර දෙකක් ඇතුළත ඉදිකිරීමට පියවර ගන්නා බවද අමාතයවරයා සඳහන් කළා. එමෙන්ම මේ දිනවල මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග භාවිතා කරන අය වෙනදාටත් වඩා විශේෂ අවධානයකින් දුම්රිය හරස් මාර්ග භාවිතා කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.