Sunday, September 22, 2024

General line - 0115112241

හෙට සවස 3න් අවසන් – සුරාසැල්, සිනමා ශාලාත් වැසේ




අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා හෙට සවස 3 දක්වා පමණක් අවස්ථාව ලබාදෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

අද උදැසන 10 ට පමණ අමරදේවයන්ගේ දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන එනු ලැබුවේ විශේෂ රථ පෙරහැරකින්. මග දෙපස සිට පාසල් සිසුන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන් දේහයට ගෞරව දක්වනු ලැබුවා.

නිදහස් චතුරශ්‍රය අභියසදී අමරදේවයන්ගේ දේහය සහිත දෙන භාරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකගේ කරමතින් අමරදේවයන්ගේ දේහය නිදහස් මන්දිරය තුළට රැගෙන ඒමද විශේෂත්වයක්.

එතැන්සිට මේ දක්වාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අතිවිශාල ජනකායක් හෙළයේ මහා ගාන්ධර්වයාට අවසන් ගෞරව දැක්වීමට නිදහස් චතුරශ්‍රයට පැමිණෙමින් සිටිනවා.

අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට දිනයේ අවමංගල්‍යය උත්සවයේ තොරතුරු නිදහස් චතුරශ්‍රයේ සිට සජීවිව විකාශය කිරීමටද නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු සූදානම් කර තිඛෙනවා. එම වැඩසටහන නෙත් ශ්‍රාවකයන් වෙත ගෙන එන්නේ මහානර්ඝ ගාන්ධර්ව නමින්.

මේ අතර අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට දිනයේ කොළඹ නගර සීමාවේ සුරාසැල්, සිනමා ශාලා සහ මාංශ අළෙවි සැල් වසා දැමීමටද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිඛෙනවා.