Sunday, September 8, 2024

General line - 0115112241

කතරගම කපු මහතුන් 18ක් ඉවත් කරයි




කතරගම කිරිවෙහෙර පුදබිමේ පිහිටි මහසෙන් සහ දැඩිමුණ්ඩ දේවාලවල කටයුතු කළ කපු මහත්වරුන් 18 දෙනෙකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ඒ, කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ උපදෙස් පරිදියි.

ඊට අමතරව කිරිවෙහෙර චෛත්‍ය ආසන්නයේ පහන් වැට භාරව සිටි පුද්ගලයා ද අදාළ රාජකාරීවලින් ඉවත් කර තිබෙනවා.

මහසෙන් සහ දැඩිමුණ්ඩ දේවාලවල සිදු වූ විවිධ දූෂණ හා අක‍්‍රමිකතා පිළිබඳ ඉකුත් දිනවල තොරතුරු වාර්තා වුණා.

මහසෙන් දේවාලයට බැතිමතෙකු විසින් පවුම් දෙක හමාරක රන් මාලයක් පූජා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ව ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මහසෙන් දේවාලයේ කපු මහත්වරුන් අදාළ පවුම් දෙක හමාරේ රන් මාලය වෙනුවට රන් බරින් අඩු මාලයක් ධම්මින්ද හිමියන් වෙත භාර දී තිබෙනවා.

මෙම සිද්ධිය ඇතුළු වංචනික ක‍්‍රියා රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බැවින් මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.