Friday, March 29, 2024

General line - 0115112241

බස් සේවකයන් අත්අඩංගුවට ගන්නැයි බස් හිමියන් කියයි




වැඩවර්ජනයක නිරත බස් සේවකයින් අත්අඩංගුවට ගන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මෙම වැඩවර්ජනය එක් පුද්ගලයෙකුගේ වුවමනාවට කැඳවා ඇති බවයි. වර්ජකයන් විසින් සෙසු බස් රථවලට ගල්වලින් පහරදෙන බවට ද මෙහි දී චෝදනා කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයෙන් ද විමසීමක් කළා. එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් පැවසුවේ කැඳවා ඇති වැඩවර්ජනයට තමන් සහය ලබා නොදුන්නත් ඊට විරුද්ධව ද කටයුතු නොකරන බවයි.

බස් සේවකයින් විසින් මෙම වැඩවර්ජනය කැඳවා තිබෙන්නේ මාර්ග වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාවට විරෝධය පළ කරමින්. අදාළ යෝජනාවට විරෝධය පළ කරමින් බස් හිමියන් ද මීට පෙර වැඩවර්ජනයක් සැලසුම් කළත් මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු ඔවුන් කියා සිටියේ වැඩවර්ජනය අත්හිටුවන බවයි.

ඉන් දින කිහිපයකට පසු බස් සේවකයින් වැඩවර්ජනය ආරම්භ කළා. ඔවුන් පවසන්නේ ඊයේ (19) මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වැඩවර්ජනය වඩාත් දැඩි කළ බවයි.  සමස්ත ලංකා පෞද්ගලික බස් සේවකයින්ගේ සංගමයේ කැඳවුම්කරු කුමාර රත්න රේණුක වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙතෙක් වර්ජනය සීමා සහිතව සිදු කළේ රජයෙන් යම් ප්‍රතිචාරයක් ලැබේ යැයි අපේක්ෂාවෙන් බවයි. එහෙත් දැන් වර්ජනය දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් පැවසුවා.

මේ අතර දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ පවතින්නේ වැරදි අදහසක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පාර්ලිමේන්තුවේ දී පසුගියදා කියා සිටියා. අයවැය මගින් දඩ මුදල් වැඩිකර ඇත්තේ වැරදි කිහිපයක් සඳහා පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඒ අනුව රියදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම සහ නිසි වයස සම්පූර්ණ නොවී රිය පැදවීම යන වැරදිවලට දඩ මුදල රුපියල් පහළොස් දහසක් දක්වා වැඩිකර තිබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියා.