Friday, May 17, 2024

General line - 0115112241

වික්‍ර‍මසිංහ බ්‍ර‍දර්ස් – ශ්‍රී ලංකා පොලිසියේ සහෝදර සමාගම



ලංකාවේ අලුත්ම සහෝදර සමාගම ඇත්තේ ‍පොලිස් දෙපාර්තමේන්තුවේය. එම සහෝදර සමාගම පිහිටුවූයේ වික්‍රමසිංහ සොයුරෝය. එක බඩවැල කඩාගෙන පැමිණි මේ වික්‍රමසිංහ සොයුරන් තුන්දෙනාම ඩී.අයි.ජී.ලා හෙවත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන්ය. වික්‍රමසිංහ පවු‍ලේ අලුත්ම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා වසන්ත වික්‍රමසිංහය. ඔහු උසස්වීම් ලබන විට සේවයේ නිරතව සිටියේ වවුනියාව කොට්ඨාසභාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයා ලෙසිනි. වසන්ත වික්‍රමසිංහ ඩී.අයි.ජී. වන විට ඔහුගේ වැඩිමහලු සොයුරන් දෙදෙනාත් ඩී.අයි.ජී.ලා වී හුන්නහ.

මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ගුණතිලක සහෝදරයන්ය. ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායකවරයාව සිටි නියෝජ්‍ය ‍පොලිස්පති නිමල් ගුණතිලක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය
‍පොලිස්පතිවරයාව සිටි ලයනල් ගුණතිලක සහෝදරයන් දෙදෙනකි. එම වාර්තාව බිඳවැටෙන්නේ සහෝදරයන් තිදෙනෙක්ම නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයන්ට උසස්වීම් ලබා තිබිමත් සමගය. ඒ අය වික්‍රමසිංහ සහෝදරයන්ය. සහෝදර සමාගමක් පමණක් නොව මුළු ‍පොලිස් දෙපාර්තමේන්තුවම වික්‍රමසිංහ පවු‍ලේ බූදලයක් යැයි අපට සිතුණේ වික්‍රමසිංහ සොයුරන් තිදෙනාගේ තාත්තාත් ‍පොලිස් නිලධාරියකු වන නිසාය. ඔවුන්ගේ පියා එන්.එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහය. ඔහු විශ්‍රාමික ‍පොලිස් පරීක්ෂකවරයකුය. කොටුව ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිට විශ්‍රාම ලබන ඔහු ‍පොලිස් සේවයට එක්ව ඇත්තේ 1940 වසරේ ‍පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසිනි. එකල ඔහුගේ සේවා අංකය වී ඇත්තේ 1909 වේ.

කොස්තාපල් වික්‍රමසිංහ සැරයන්වරයෙක් ලෙස උසස්වීම් ලැබිමෙන් පසු උඩුපුස්සැල්ලාව ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙසද සේවය කළේය. ඒ ඔහුගේ මුල්ම ස්ථානාධිපති පත්වීමය. අනතුරුව දිවයිනේ ‍පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපති ධුරය හොබවා ඇති ඔහුට සිය දයාබර බිරිඳ මුණ ගැසෙන්නේ කළුතර ‍පොලීසියේ සේවයේ නිරතව සිටියදීය. ඇය චාලට්ය. කළුතර කලපුගම පදිංචිකාරියක් වන ඇය ගම්මුලාදෑනියකුගේ දියණියකි. වික්‍රමසිංහ අද ජීවතුන් අතර නැතත් 96 වැනි වියැති ඇය අදටත් ජීවතුන් අතර සිටින්නේ තුන්වැනි පරම්පරාවේද මුහුණු දකිමිනි.

ඒ වික්‍රමසිංහ සහෝදරයන්ගේ පවුල් පසුබිමය. වික්‍රමසිංහ සහෝදරයන්ගෙන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරු තිදෙනෙක් බිහිවූවාට එම සහෝදර කණ්ඩායමේ සාමාජිකයන් සිව් දෙනෙකි. ඒ අයගෙන් වැඩිමලා රංජිත් වික්‍රමසිංහය. වික්‍රමසිංහ සහෝදරයන්ගෙන් ‍පොලීසියෙන් පිටත සිටින එකම සහෝදරයා වන්නේ ඔහුය. ලංකා බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරුවෙක් ලෙස සේවයේ නිරතව සිටි ඔහු දැන් සිටින්නේ විශ්‍රාම සුවයෙනි.

වික්‍රමසිංහ සහෝදරයන්ගෙන් දෙවැන්නා හරිස්චන්ද්‍ර වික්‍රමසිංහය. සිය පියාගේ අඩිපාරේ යමින් ‍පොලීසියට මුලින්ම එක්වන්නේ ඔහුය. උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ඔහු ‍පොලීසියට බැඳෙන්නේ 1975 වසරේදීය.

පවු‍ලේ තුන්වැන්නා ජයන්ත වික්‍රමසිංහය. ඔහුත් ‍පොලීසියට එක්වන්නේ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසිනි. ඒ 1979 වසරේදීය. ජයන්ත ‍පොලීසියට එක්වීමට පෙර හැටන් නැෂනල් බැංකුවේ සේවයේ නිරතව සිටියේ වැඩිමහල් සහෝදරයාගේ අඩිපාරේ යමිනි. එහෙත් වසරකට වඩා ඔහු බැංකු සේවයේ සිටියේ නැත. ඉපදුණු දා සිට ‍පොලිස් ඇසුරේ සිටි ඔහුටද කාකි ඇඳුමක් ඇඟලාගැනීමේ ආශාවක් උපන්නේය. ඒ අනුව සිය පියාගේත් සහෝදරයාගෙත් ගමන් මගේ ඉදිරියට යන්නට ඔහු තීරණය කළේය. ජයන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකා ‍පොලීසියට බැඳෙන්නේ එසේය.

වික්‍රමසිංහ පවු‍ලේ බඩපිස්සා වසන්ත වික්‍රමසිංහය. පාසල් යන කාලයේ සිටම ‍පොලීසියට පෙම්බැඳි වසන්තත් ‍පොලිස් සේවයට එක්වන්නේ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසිනි. ඒ 1982 වසරේදීය.

වික්‍රමසිංහ සහෝදරයන් පාසල් අධ්‍යාපනය ලබන්නේද ලංකාවේ ඉහළ පෙළේ පාසල්වලය. වැඩිමහල්ම සහෝදරයා වන රංජිත් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේය. දෙවැන්නා හරිස්චන්ද්‍ර අධ්‍යාපනය ලබන්නේ රාජකීය විද්‍යාලයේය. තුන්වැන්නා වන ජයන්ත අධ්‍යාපනය ලබන්නේ තර්ස්ටන් විද්‍යාලයේය. බාලයා වන වසන්ත අධ්‍යාපනය ලබන්නේ ද රාජකීය විද්‍යාලයේය.

ඒ කා‍ලේ අද වගේ නමෛයි ‍පොලීසියට සමාජය තුළ ලොකු ගෞරවයක් තිබුණා. සමාජය තුළ ලොකු විශාල පිළිගැනීමක් තිබුණා. ඒ වගේම තමයි ‍පොලිස් සේවය කියන්නේ රැකියාවකට වඩා ගෞරවනීය සේවයක්. අපේ තාත්තා ඒ සේවය ගෞරවනීය ලෙස කරනව දැක්කම තාත්තට සමාජයෙන් ලැබෙන පිළිගැනීම සහ ගෞරවය දැක්කම අපිටත් හිතුණා ‍පොලීසියට බැඳෙන්න. ඒ නිසයි බැංකුවේ රක්ෂාව අතහැරල ‍පොලීසියට බැඳුණේ. එසේ කියන්නේ වික්‍රමසිංහ සහෝදරයන්ගෙන් තුන්වැන්නා වන ජයන්ත වික්‍රමසිංහය.

වික්‍රමසිංහ සහෝදරයෝ සිය ළමා කාලය ගතකරන්නේ මරදාන ‍පොලීසිය අශ්‍රි්‍රතවය. ඒ 1960 වසරේ සිට 1977 වසර දක්වාම මරදාන ‍පොලිස් භූමියේ ඇති ‍පොලිස් නිල නිවාසවල වසර 17ක් ජීවත් වූ බැවිනි. ‍පොලීසිය ගැන ඔවුන්ට ඇත්තේ හොඳ අවබෝධයකි. මේ තිදෙනාම ‍පොලීසියට බැඳෙන්නේ ඒ අවබෝධය ඇතිවය.

හරිස්චන්ද්‍ර ‍පොලීසියට එක්වීමෙන් පසු මුල්ම ‍පොලිස් ස්ථානාධිපති ධුරය හොබවන්නේ වෙල්ලාවලි ‍පොලිස් ස්ථානයේය.
සහකාර ‍පොලිස් අධිකාරීවරයෙක් ලෙස ලද උසස්වීමෙන් අනතුරුව 1993 වසරේදී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එවකට අගමැතිවරයාව සිටියදී ඔහුගේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස පත්විය. එතැන් සිට එකදිගටම වසර 20ක් පුරාම රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස සිටින්නේ ඔහුය.

වික්‍රමසිංහ සහෝදරයන්ට දේශපාලනික වශයෙන් ‍පොලීසිය තුළ කැපිළි කෙටිලි ඇතිවීමට පටන් ගන්නේ රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ලෙස හරිස්චන්ද්‍ර පත්වීමත් සමගය. වික්‍රමසිංහ සහෝදරයන්ට නිසි කලට උසස්වීම් පවා නොලැබෙන්නට විය.

හරිස්චන්ද්‍ර වික්‍රමසිංහට නියෝජ්‍ය ‍පොලිස්පති ධුරය ලැබෙන්නේ ඒ වන විට ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයා වූයේ ඔහු නිසාමය. සම්මුඛ පරීක්ෂණ

මණ්ඩලයේදී ඔහු රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියා ලෙස පමණක් සිටීමෙන් ‍පොලීසියට සෙතක් නැති බව සඳහන් කරමින් ඔහුගේ ඒ උසස්වීම පවා අහිමි කරලීමට පැවැති රජයේ ඇතැම් බලධාරීන් උත්සාහ ගත් අවස්ථාද බොහෝය. රනිල් වික්‍රමසිංහ යනු එකල විපක්ෂ නායකයාය. ඔහුගේ ආරක්ෂාවට හරිස්චන්ද්‍ර යොදවන්නේ ‍පොලීසියෙන්මය. ඒ විපක්ෂ නායකවරයාව ආරක්ෂාකිරීම ‍පොලීසියේ රාජකාරියක් වන බැවිනි. එකී තර්කයට අනුව සහ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය මත හරිස්චන්ද්‍රට නියෝජ්‍ය ‍පොලිස්පති ධුරය නොදී සිටීමට ඒ අයට හැකියාවක් නොවීය. 2013 වසරේදී ඔහුට නියෝජ්‍ය ‍පොලිස්පති ධුරය හිමිවන්නේ ඒ අනුවය. එහෙත් සැබෑ ලෙසම ගත් කල ඔහුට ඒ තනතුර ලැබෙන්නට තිබුණේ ඊට වසර කිහිපයකට පෙරය.

නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයට උසස්වීම් ලැබිමෙන් පසු හරිස්චන්ද්‍රට එතරම් කාලයක් ‍පොලිස් සේවයේ නිරතවන්නට ඉඩක් නොවීය. රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශයෙන් ඔහුව ඉවත්කර වවුනියාවට යැව්වේය. ඒ වවුනියාවේ ‍පොලිස් ප්‍රධානියා ලෙසය. මාස හතකට පසු ඔහු ‍පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නේ වසර 38 ක නොකැලැල් ‍පොලිස් සේවාවකින් පසුවය.
හරිස්චන්ද්‍ර වික්‍රමසිංහගේ බිරිඳ ලංකා බැංකුවේ විශ්‍රාමික නිලධාරිනියකි. දියණිය හැටන් නැෂනල් බැංකුවේත් පුතා ඩයලොග් සමාගමේත් සේවයේ නිරතව සිටින්නෝය.

වික්‍රමසිංහ පවුලෙන් ‍පොලීසියට බැඳුණු ජයන්ත වික්‍රමසිංහ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස 1979 වසරේදී ‍පොලිස් සේවයට එක්විය.

නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයට ජයන්ත උසස්වීම් ලබන්නේ 2014 වසරේදීය. උසස්වීමෙන් පසු ඔහුට භාරවන්නේ සිය සහෝදරයා නියෝජ්‍ය ‍පොලිස්පති ධුරය දැරූ වවුනියාව දිස්ත්‍රි්‍රක්කයයි.

රනිල් වික්‍රමසිංහ පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු අගමැතිවරයාගේ ආරක්ෂක අංශයේ ප්‍රධානී තනතුරට විශ්වාසවන්ත ‍පොලිස් නිලධාරියෙකුගේ අවශ්‍යතාව තදින්ම දැනෙන්නට විය. ඒ අඩුව පිරවෙන්නේ ජයන්තගෙනි. සහෝදරයන් දෙදෙනෙක් රටේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේ නම් ඒ වික්‍රමසිංහ සහෝදරයන් පමණි. එයත් වාර්තාවකි.

ජයන්තගේ බිරිඳ රැකියාවක නිරතවන්නේ නැත. එහෙත් ඔහුගේ දරුවෝ දෙදෙනා රැකියාවල නිරතව සිටිති. දියණිය හැටන් නැෂනල් බැංකුවේ සේවයේ නිරතව සිටින්නීය. පුතා යුනයිටඩ් මෝටර්ස් හි ඉංජිනේරුවරයෙක් ලෙස සේවයේ නිරතව සිටී.

වික්‍රමසිංහ පවු‍ලේ අලුත්ම ඩී.අයි.ජී. වසන්තය. රාජකාරී වැඩවලදී අයියලා හමුවූ විට සැලියුට් ගහනවාදැයි අපි මල්ලිගෙන් ඇසුවෙමු.

ඔව් සැලියුට් ගහලා සර් කියලා කතා කරනවා. ඒත් නිල රාජකාරියෙන් මිදුණාම අපි මිතුරන් වගේ කතා කරනවා ඔහු සිනාසෙමින් කීවේය.

වික්‍රමසිංහ පවු‍ලේ බඩ පිස්සා වන වසන්ත පාපන්දු ක්‍රීඩකයෙකි. පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ රාජකීය විදුහ‍ලේ පාපන්දු කණ්ඩායමේ නායකත්වයද දරා ඇත්තේ ද වසන්තය. 20න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේද තරගාවලියකට පාසල් කාලයේ ඔහු සහභාගිවී තිබිම විශේෂිතය. 1982 වසරේ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ‍පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුවද ඔහු ක්‍රීඩාව අමතක කර දැමුවේ නැත. ‍පොලිස් පාපන්දු කණ්ඩායම මෙන්ම හොකී කණ්ඩායම නියෝජනය කළේය. එසේම ඔහු වසර පහක්ම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ලෙසද කටයුතුකර තිබිමද විශේෂත්වයකි. ඔහු සහකාර ‍පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ සහකාර ‍පොලිස් අධිකාරී උසස්වීම් තරග විභාගයට මුහුණදී ඉහළින්ම සමත්වීය. ඒ 1998 වසරේදීය.
වසන්තගේ බිරිඳ ගුරුවරියකි. එකම දියණිය විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.

වික්‍රමසිංහ සහෝදරයන් මේ වනවිට ‍පොලිස් ඉතිහාසය අලුත් කර හමාරය. වර්තමානය වන විට ‍පොලීසියේ පවතින උසස්වීමේ සහ බඳවා ගැනීමේ ක්‍රියාවලිය දෙස බැලීමේදී ඔවුන්ගේ මේ වාර්තාව දසක ගණනාවක් තබා ඉතිහාසයටම බිඳ දැමීමට වෙන කිසිදු සහෝදරයන් පිරිසකට හැකියාවක් ලැබේවි දැයි ඇත්තේ සැකයකි..

Image

ගයාන් කුමාර වීරසිංහ

(උපුටාගැනීම ලක්බිම පුවත්පතෙනි)