Friday, September 20, 2024

General line - 0115112241

නව රියදුරු බලපත්‍ර සොයා යන වැඩිම පිරිස හෙළිවෙයි




රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ඇති ඉල්ලූම ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ දෛනිකව පැමිණෙන සංඛ්‍යාව මේ වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

එම පිරිස අවුරුදු 18 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්. ඔවුන් අලූතින්ම රියදුරු බලපත්‍ර ලබා ගන්නා අය බව ද ඔහු පැවසුවා.

මේ අතර රියදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිඛෙනවා.

එම ආයතනයේ සභාපති රෝහණ පුෂ්ප කුමාර පැවසුවේ සාමාන්‍යයෙන් පැමිණෙන පිරිසට වඩා දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් ඉකුත් දින කිහිපයේ පැමිණි බවයි.

ඔවුන්ගෙන් බහුතරය රියදුරු බලපත්‍රයක් නොමැතිව රථ වාහන ධාවනය කළ අය බවයි පැවසෙන්නේ.

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රථ වාහන ධාවනය කිරීමේ දඩය රුපියල් විසිපන් දහසක් දක්වා ඉහළ දැමුණා.

මෙවැනි තත්වයක් උද්ගත වූයේ එම තීරණයෙන් පසුව බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරිගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ත්‍රීරෝද රථ සඳහා මගී ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කරන අවම වයස් සීමාව අවුරුදු 25 ක් දක්වා වැඩි කරන බවට පලවන වාර්තා ද මීට හේතු වී ඇති බවයි.