Friday, September 20, 2024

General line - 0115112241

මුදල් ඇමති නොදැනුවත්ව යෝජනා කළ බද්ද සුව ඇමති ඇත්තටම ඉල්ලයි




අයවැය යෝජනා මගින් දුම්කොල සමාගමෙන් දුම්පානයට එරෙහි ප‍්‍රචාරක වැඩපිළිවෙලක් සඳහා රුපියල් මිලියන 500 ක මුදල බදු වශයෙන් ලබාගෙන ජනාධිපති අරමුදලට ප‍්‍රදානය කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් අද (27) ඉල්ලා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ FCTC ප‍්‍රඥප්තියට අනුව දුම්කොල සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු සඳහා ගණුදෙනු කිරීම සහ දුම්කොල සමාගමක් ලබාදෙන මූල්‍ය ප‍්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ලබා ගැනිම උචිත නොවන බවයි.

මෙම ප‍්‍රඥප්තියට රටවල් 182 ක් අත්සන් කර ඇති අතර, ආසියානු කළාපයෙන් ප‍්‍රඥප්තියට අත්සන් කර ඇති පළමු රට ශ‍්‍රී ලංකාවයි.

කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ අද (27) පෙරවරුවේ පැවැති පාගමනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

නාවල සිංහ සමාජය විසින් පිටකොන්දේ විකෘති රෝග තත්ත්වයන් පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පාගමන සංවිධානය කර තිබුණා. කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ සිට මහජන පුස්තකාලය දක්වා පාගමන ගමන් කළ අතර, පිටකොන්දේ විකෘතිවීම් නිසා ඇතිවන රෝගී තත්ත්වයට පත්ව ඇති දරුවන් වෙනුවෙන් අරමුදලක් ද මෙහිදී ස්ථාපනය කෙරුණා.

එහි පළමු රුපියල් ලක්ෂ 05 ක චෙක් පත ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පී පේ‍්‍රමසිරි හේවාවසම් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රධානය කළා.

මෙහිදී මාධ්‍යට අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ  “දුම්කොල සමාගමෙන් රුපියල් මිලියන 500 ක මුදල ලබාගැනීම මම ප‍්‍රතික්ෂේප කරනවා. මම මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමග සාකචිඡා කළා. මුදල් අමාත්‍යවරයා එය නොදැනුවත්ව අයවැය යෝජනා මගින් ප‍්‍රකාශ කර තිබෙනවා. එම මුදල දුම්කොල සමාගමෙන් බදු වශයෙන් ලබාගෙන ජනාධිපති අරමුදලට ප‍්‍රදානය කරන මෙන් මම මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ පොත් බෑගය හේතුවෙන් මෙම පිටකොන්දේ විකෘති තත්ත්වයන්ට ගොදුරුවන දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. එම නිසා වෛද්‍යවරුන් විසින් මෙම අවස්ථාවේදී නිවැරදි පොත් බෑගයක් පාසල් දරුවන්ට හදුන්වා දුන්නා.

පිටකොන්ද සියයට 35 ක් දක්වා විකෘතිවීමක් සිදුවුව හොත් වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව නිරෝගි විය හැකි අතර, එසේ නොමැති නම් ශල්‍ය කර්මයකට ලක් කළ යුතු වෙනවා. දරුවන් නිතර ඇදුම් පැළදගෙන  සිටින බැවින් පිටකොන්ද විකෘතිවීම් මුල් අවස්ථාවේදී හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද මෙහිදී සඳහන් කරෙුණා.

(දුම්කොල සමාගමෙන් රුපියල් මිලියන 500 ක ප්‍රදානයක් ලබාගැනිමට කළ අයවැය යෝජනාවට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර විරෝධය පළ කළ නිවේදනය පහතින් දැක්වෙයි.)

2015-12-300005