Friday, September 20, 2024

General line - 0115112241

මැති ඇමතිවරුන්ගේ වාහන වෙනුවෙන් කෝටි 79 ක් වෙන් කිරීමට විරෝධයක්




මැතිඇමතිවරුන් සඳහා අලුතින් වාහන මිළදි ගැනීමට රුපියල් කෝටි 79 ක් වෙන් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා.

එහි සාමාජික සමන් රත්නපි‍්‍රය පෙන්වා දෙන්නේ රට පවතින බරපතල ආර්ථික අර්බුදය හමුවේ ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම වෙනුවෙන් එවැනි මුදලක් වෙන් කිරීම හාස්‍යයට කරුණක් බවයි.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මැතිඇමතිවරුන් 27 දෙනෙකුට සහ විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් වෙනුවෙන් අලුතින් වාහන මිළදී ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉකුත් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සමන් රත්නපි‍්‍රය මේ බව සඳහන් කළා.

මැති ඇමතිවරුන්ට අවශ්‍ය වාහන මිළද ගැනීම සදහා රුපියල් කෝටි 79 ක් වෙන් කෙරුණද 2017 වර්ෂය සඳහා ඇතැම් අමාත්‍යාංශවලට ප‍්‍රමාණවත් මුදලක් වෙන්කර නොමැති බවටද මෙහිදී චෝදනා කෙරුණා.

ලබන වසර සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙනුවෙන් පුනරාවර්තන වියදම් ලෙස වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 43 ක්. ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට පුනරාවර්ථන වියදම් ලෙස මෙවර අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 34 ක් පමණයි.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයට පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් කෝටි 31 ක් වෙන්කර ඇති අතර වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 25 ක්.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට 2017 වර්ෂය සඳහා පුනරාවර්ථන වියදම් ලෙස වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 13 ක් මුදලක්. එලෙස තිබියදී මැතිඇමතිවරුන්ගේ වාහන මිළදී ගැනීම සඳහා රුපියල් කෝටි 79 ක් වෙන් කිරිම පිළිබඳ ආණ්ඩුව යළි සිතා බැලිය යුතු බවයි සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සාමාජික සමන් රත්නපි‍්‍රය ප‍්‍රකාශ කළේ.