Friday, September 20, 2024

General line - 0115112241

අයවැයෙන් දඩ වැඩි කරන්න බැහැ – ජනාධිපති නීතිඥවරයෙකුගෙන් අනාවරණයක්




මාර්ග නීති හතක් කඩකිරීමට අදාළව පැන වූ රුපියල් විසිපන් දහසේ දඩය සම්බන්ධයෙන් තවදුරටත් සංවාද පවතිනවා. මේ වනවිට කතාබහක් මතුව ඇත්තේ මෙම දඩය ක‍්‍රියාත්මක කිරීමට ඇති නීති රෙගුලාසි පිළිබඳවයි.

නෙත් නිවුස් කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න කියා සිටියේ අයවැයෙන් දඩ පැනවුව ද එය ක‍්‍රියාත්මක කිරීමට නම් පනතක් ගෙන ආ යුතු බවයි.

“අයවැය ලේඛණයේ සමහර විට අලුත් බදු නියම කරනවා. ඒවා පිළිබඳ ප්‍රශ්ණයක් නැහැ ඒ පිළිබඳව නීතිය පසුව ගෙනාවත් අයවැය ලේඛණය ඉදිරිපත් කරපු දවසේ ඉඳන් ක්‍රියාත්මක වන පරිදි ආපස්සට ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථාවෙන් කිසිම තහනමක් නැහැ. නමුත් දණ්ඩන ඊට වඩා වෙනස්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13- 06 වගන්තියේ මූලික අයිතිවාසිකමකින් කියවෙනවා යම් වරදක් සිදුකරනු ලැබුනු අවස්ථාවේදී ඒ වරද සම්බන්දයෙන් බලපැවැත්වූ දණ්ඩනයට වැඩි කිසිම දණ්ඩනයක් ඒ වරද සම්බන්දයෙන් නියම නොකල යුත්තේය කියලා”.

අයවැයෙන් යෝජනා කෙරුණු බදු පැනවීම සහ දඩ නියම කිරිම ක‍්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයෙන් බවයි ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පැහැදිලි කළේ.

“දඩයක් කියන්නේ දණ්ඩනයක්. බද්දක් වගේ නෙමෙයි. එම නිසි දණ්ඩනයක් ක්‍රියාත්මක කරනවිට ඒ සඳහා ඒ මොහොතේ නීතියක් තිබේ. එම නිසා තමයි පසුව පනත ගෙනාවොත් එහෙම , සංශෝධනය කෙරුවොත් එහෙම මෝටර් රථ ආඥාපනත , එහෙම නැත්නම් අලුතින් පනතක් ගෙනාවොත් එහෙම දඩ නියම කරන නැත්නම් තියෙන දඩ වැඩිකරන එතකොට ඒ දඩ ක්‍රියාත්මක වෙන්නේ ඒ පනතට කතානායකතුමාගේ සහතිකය ලැබුනු දිනේ සිට”.

රුපියල් විසිපන් දහසේ දඩය අයකර ගැනීමට නව පනතක් ගෙන ආ යුතු බවයි මෙහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

“මම හිතන්නේ මේ පිළිබඳව ප්‍රශ්ණයක් නැහැ. මේ දඩ වැඩිකරනවා කියලා මුදල් ඇමතිතුමා කියනවිට කවුරුත් දැනගෙන හිටියා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා පනතක් ගේන්න ඕනේ කියලා. බදුවලට එහෙම නෙමෙයි බදුනම් ආපස්සට ක්‍රියාත්මක කිරීමට නීතී පසුව ගේන්න පුළුවන්. දණ්ඩන දඩ වැඩිකරනකොට නැත්නම් සිරදඬුවම් හරි වැඩිකරනකොට ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ සංශෝධිත නීතිය හෝ අලුත් නීතිය හෝ සම්මත වී කතානායක සහතිකය ලැබුන දින සිට”.

රුපියල් විසිපන් දහසේ දඩයට විරෝධය පල කරමින් පෞද්ගලික බස් සංගම් ඇතුළු සංගම් කිහිපයක් දෙසැම්බර් පළමු වන දා සිට වැඩවර්ජනයක් ද ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.