Friday, September 20, 2024

General line - 0115112241

සමාජ ජාලා සම්මාන උළෙලක් ගැන පැමිණිලි!




ජාතික තරුණ සේවා සභාවේ බවට හැගී යන පරිදි ‘‘එන්.වයි.ඩී. බී සෝෂල් මීඩියා අවෝර්ඩ්ස්’’ නමින් සමාජ මාධ්‍ය ඇතුළු ඩිජිටල් මාධ්‍ය හා එහි නියැලෙන්නන් වෙනුවෙන් සම්මාන උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සොයා බලන බව ජාතික තරුණ සේවා සභාව පවසනවා.

එහි සභාපති එරන්ද වැලිඅංගේ පැවසුවේ මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් තමන්ට ද පැමිණිලි ලැබී ඇති බවයි. ඒ පිළිබඳව නෙත් නිවුස් වෙබ් අඩවිය සමග මෙසේ කරුණු දැක්වූවා.

“ජාතික තරුණසේවා සභාව කියන්නේ රටේ තරුණයන් වෙනුවෙන් තියෙන එකම රාජ්‍ය ආයතනය. ඒක පනතකින් පිහිටලා තියෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යටතේ තමයි මේ ආයතනය දැන් පිහිටලා තියෙන්නෙත්. ඒ නිසා අපේ ආයතනයයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක හුදෙක්ම පෞද්ගලික සමාගමක් මගින් සිදුකරනු ලබන දෙයක්. ඒත් එක්කම මේකට කිසිඳු රාජ්‍ය ආයතනයක් හෝ කිසිඳු රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. මම ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා. ඒ නිසා ජාතික තරුණසේවා සභාවේ කිසිම සම්බන්ධයක් මේකට නැහැ.

මේ සම්බන්ධයෙන් යම් යම් නොමග යැවීම් තිබෙනවා කියලා අපිට පේනවා, මොකද විවිධ පැමිණිලි අපිට ලැබිලා තිබෙනවා තරුණයන්ගෙනුත් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි මේ දිනවල බලාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා”.

ජාතික තරුණ සංවර්ධන කාර්යංශය නම් සංවිධානයක් විසින් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ ඩිජිටල් මාධ්‍ය ඇතුළු සමාජ ජාල මාධ්‍ය කේන්ද්‍ර කරගනිමින්.

ඊට අදාළ සම්මාන ප‍්‍රදානය ඉකුත් 27 වන දා නෙළුම්පොකුණ රඟහල පරිශ‍්‍රයේ දී පැවැත්වුණා. එහිදී ලබාදුන් සම්මාන පිළිබඳවද මේ වන විට සමාජ ජාල තුළද විවිධ චෝදනා එල්ලවනවා.

කෙසේ වෙතත් මෙම සමාජ ජාල සම්මාන උළෙලට අදාල වෙබ් අඩවිය www.nydbsocialmediaawards.com ද ඉකුත් දා අවස්ථා කිහිපයකදී සයිබර් ප්‍රහාරකට ලක්වුණා. තරගකරුවන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට මෙම වෙබ් අඩවියේ ප්‍රමුඛ ඉඩක් වෙන්කර තිබුනා.