Friday, September 20, 2024

General line - 0115112241

ප‍්‍රශ්නගත සෝෂල් මීඩියා සම්මාන උළෙල ගැන විමර්ශනයට සම්මාන දිනූ දේශපාලනඥයාගේත් සහාය.




ජාතික තරුණ සේවා සභාවේ බවට හැඟී යන පරිදි සංවිධාන කෙරුණු N.Y.D.B. සෝෂල් මීඩියා අවෝර්ඞ්ස් සම්මාන උළෙල පිළිබඳව විමර්ශන සඳහා තමන් ද සහාය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා. අදාළ සම්මාන උළෙලේදී ජනප‍්‍රියම ෆේස්බුක් පිටුව හිමි දේශපාලනඥයා ලෙස සම්මාන ලැබූයේ ද සුජීව සේනසිංහයි. කෙසේ වෙතත් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් තිබේ නම් එය විමර්ශනය කළ යුතු බව ඔහු අවධාරණය කළා.

N.Y.D.B. සෝෂල් මීඩියා අවෝර්ඞ්ස් සම්මාන උළෙල ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කෙරුණක් නොවන බව එහි සභාපති එරන්ද වැලිඅංගේ නෙත් නිවුස් ඊයේ කළ විමසීමකදී කියා සිටියා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අදාළ සම්මාන උළෙලේදී ජනප‍්‍රියම ෆේස්බුක් පිටුව හිමි දේශපාලනඥයා සම්මානය රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට හිමිවුවත් තවත් දේශපාලනඥයින් කිහිපදෙනකුගේම ෆේස්බුක් පිටුවල ඔහුට වඩා වැඩි ලයික්ස් ප‍්‍රමාණයක් තිබෙන බව අප කළ අධ්‍යනයකදී පෙනී ගියා. සුජීව සේනසිංහගේ ෆේස්බුක් පිටුවේ ඇති ලයික් ප‍්‍රමාණය තුන් ලක්ෂ තිස් පන්දහස් නවසිය හතක්. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ෆේස්බුක් පිටුවේ ලයික්ස් පන් ලක්ෂ අනූ දහස් පන්සීය හැත්තෑ පහක් තිබෙනවා. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ෆේස්බුක් පිටුවේ ලයික්ස් ගණන තුන් ලක්ෂ පනස් පන්දහස් 18ක්.