Thursday, September 19, 2024

General line - 0115112241

සිව් දෙනෙකු මිය යෑමට හේතුව හෙළි වෙයි – හඳුනාගත් ‘එන්නත’ භාවිතා නොකරන ලෙස රෝහල්වලට දන්වයි




කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ Non Ionic contrast media for cardio angiography for adult – 100ml  නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හෘද රෝග සැත්කම සඳහා භාවිතා කරන මෙම ඩයි වර්ගය පිළිබදව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ඩයි වර්ගය සහිත එන්නත උතුරු කොළඹ, ජාතික රෝහල, මොණරාගල, යාපනය, කරාපිටිය, දකුණූ කොළඹ, බදුල්ල, කුරුණෑගල, කළුතර සහ පේරාදෙනිය යන රෝහල්වලට නිකුත් කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම රෝහල්වල ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබෙනවා.

මෙම ඩයි වර්ගය සහිත එන්නත යුරෝපා රටවලින් ආනයනය කරනු ලබනවා.

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම්වලට ලක් කළ රෝගීන් මියයාම පිළිබදව සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ත‍්‍රීපුද්ගල පරික්ෂණ කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.

එම පරික්ෂණ කණ්ඩායමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1) වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග, අධ්‍යක්ෂ (රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා යන පිරිස ඇතුලත් වෙනවා.