Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පිරිමි Sex Videoවලට මේතරම් බය ඇයි? (පාඨකයාගේ ලිපිය)



අසභ්‍ය වීඩියෝ නිර්මාණය කිරීම සහ සන්තකයේ තබා ගැනීම මෙරට නීතිය අනුව වරදකි. නීතියට අනුව වරදක් වුවද පෙර කී කාරණා දෙකම රටතුළ නොඅඩුව සිදු වන්නකි.

අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ පට පරිගණක හෝ ජංගම දුරකතන තුළ ගබඩා කරගෙන ඇතැයි කියා පොලිස් නිලධාරීන් විසින් කොපමණ තරුණ පිරිසක් පොලිසි තුළට කුදලාගෙන ගොස් ඇත්ද? සාමාන්‍ය පුද්ගලයින් මේ වරදට පොලිස් කූඩුවල ලැග අධිකරණයටද ගොස් දඬුවම් වින්දද, පොලිස් නිලධාරීන් සතු පරිගණක හෝ ජංගම දුරකතන පරීක්ෂා කළෝ කවුරහුද? එසේ වීනම් පොලිසියෙන් බාගෙට බාගයක්ම සිටිය යුත්තේ බැරැක්කයේ නොව කූඩුවේය.

මා මේ විමසන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. උප්පැන්න සහතිකයේ “පුරුෂ“ යැයි සටහන්ව ඇති මනසින් පිරිමින් නොවන නපුංසකයින් පිරිසක් කරනා අමන වැඩක් ගැනය.

ෆේස් බුකියේ කරක් ගහනා උදවියගෙන් බොහෝ පිරිසක්, බැංකුවක සේවය කරන පිරිමියෙකු සහ ගැහැණියක ඉතා ජුගුප්සාජනක ලෙස නිල කාමරයක් තුළ සංවාසයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ පෙරේදා ඇති පදමට රස බොජුනක් සේ වැළඳූහ. වැළඳුවා පමණක් නොව කාක්කන් මෙන් බෙදා හදාගෙනද වැළඳූහ. බැංකු වීඩියෝවයැයි නමක්ද ලැබී තටු ආ මේ වීඩියෝව අනුන්ගේ එකක් නිසා, අන් අයෙකුගේ පුද්ගලිකත්වය පවා අමතක කොට හැමෝටම බලන්නට බෙදා දුන්නෝ බහුතරය උප්පැන්න සහතිකයෙන් පමණක් පිරිමිය. තමන්, තම සහෝදරියක්, බිරිඳ හෝ මව මේ වීඩියෝවක වීනම් මේ පිරිමින් මෙය මෙලෙසින්ම තළුමරමින් රස බලනු ඇත්ද?

අසැබි වීඩියෝ නිපදවීම, සන්තකයේ තබා ගැනීම කෙතරම් තහනම් වුවද මෙරට ගැහැණු සහ පිරිමි සංවාසයේ යෙදෙන වීඩියෝ පට අන්තර්ජාලයේ හිඟ නොවේ. ඒ සඳහාම වෙන්වූ, ඕනෑම අයෙකුට තමන් සතු අසැබි වීඩියෝවක් ඇතුළත් කළ හැකි වෙබ් අඩවි ඕනෑතරම් සොයාගත හැකිය.

එවැනි අසභ්‍ය වීඩියෝ සහිත වෙබ් අඩවි කිහිපයක්ම පසුගිය කාලයේ පරිශීලනය කරද්දී මට හැඟුනේ පුරුෂ ලිංගයක් ඇතිව උපන්නද මෙවැන්නවුන්ට පිරිමින් කියා කියන්නේකෙසේද කියාය.

එවැනි වෙබ් අඩවිවල ඇති “ශ්‍රී ලංකා“ වීඩියෝ වලින් 80%ට වඩා ඇත්තේ පිරිමියා විසින් තමන් සමග යහනට ආ කාන්තාවට හොරෙන් හෝ ඇයගේ අකමැත්තෙන් කරන ලද වීඩියෝය. මේ කිසිදු වීඩියෝවක පිරිමියාගේ මුහුණ පෙනෙන්නට දෙන්නේ නැත. ආදරය නිසා හෝ රාගය නිසා තමන් හා කයින් බැඳෙන්නට එන ගැහැණියගේ මුහුණ සමග නිරුවත රමණයෙහි යෙදෙනා හැටිද පෙනෙන සේ වීඩියෝ කර රටට ලෝකයට පෙන්වන අපේ රටේ උප්පැන්න සහතිකයට පමණක් සීමා වූ, මේ පිරිමි කොට්ඨාශය තම මුහුණ පෙන්වන්නට මේ තරම් බිය වන්නෙ ඇයි?

මෙකී වීඩියෝ වලින් 20%ක පමණ පමණක් ගැහැණියත් පිරිමියාත් දෙදෙනාම කවුදැයි හඳුනාගත හැකි හෝ දෙදෙනාගේම මුහුණු පෙනෙන්නේ නැත.

සිරි රහල් හිමියන් විසින් රචිත කාව්‍යශේකරයේ වන,

“පිරිමිනිදු පතන
අවසර කල් රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන“

කවිය රස කරමින් තම මව ඇතුළු කාන්තා පරපුරටම නින්දා කරන්නේ මනසින් පිරිමින් නොවන උප්පැන්න සහතිකයේ සහ බාහිර පෙනුමින් පමණක් පිරිමින් වන්නන්ය. රහල් හිමියන්ද අමතක කළ සත්‍යනම් ගැහැණියට පමණක් තනිව වරදේ බැඳිය නොහැකිය යන්නයි.

කයින් පිරිමියකු සේ පෙනුනද, මනසින්ද සැබෑ පිරිමියකු වන්නට නොහැකි නපුංසක මහතුන් වෙත කීමට අපූරු කතාවක් ඇත.

ඔහු මෙරට බිහිවූ අග්‍ර‍න්‍ය සාහිත්‍යකරුවෙකි, නාට්‍යවේදියෙකි. විවාහකයකු වූ ඔහුට දාව නිළියක්ද වූ වෙනත් කාන්තාවකට පිරිමි දරුවෙකු උපන්නාය. ඒ අම්මා තම දරුවා වැසිකිළිවලකට දැම්මේ නැත. ඇය තම දරුවා හදාවඩා ගනිද්දී දරුවාගේ පියා දරුවා තමාට දෙනලෙස දිගින් දිගටම ඇවටිලි කරන්නට පටන්ගෙන ඇත. මව දරුවා ඔහුට නොදුන් විට ඔහු නීතිය ඉදිරියට ගොස් දරුවාගේ අයිතිය තමා වෙත ලබාගත් බව මා අසා තිබේ.

ගැහැණුන්ගේ බඩට දරුවන් දී නිදි පැදුරටත් නොකියා පලායන පිරිමි වෙසින් සිටිනා නපුන්සකයින් සිටිනා සමාජයේ, විවාහයකින් නොබැඳි තැනැත්තියකට තමාට ජාතකව උපන් දරුවාගේ පීතෘත්වය ඉල්ලන නියම පිරිමින් දුර්ලභ වුව සිටිනා බවට පිරිමි වෙස්ගත් නපුංසකයින් සිත්හි තබාගන්නේනම් මැනවි.

සෙනරත් විතාරණ – පන්නිපිටිය

කතෘ සටහන – පාඨකයකු විසින් අප වෙත එවා ඇති මෙම ලිපිය සංවාදශීලී මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස හෝ සමාජ වැදගත් කමකින් යුත් වෙනත් විෂයයක් සම්බන්ධයෙන් ඔබේ අදහස “සිංහල Unicode අකුරු“ භාවිතයෙන් ලියා මාතෘකාව “කතෘට ලියුම්“ යනුවෙන් සටහන් කොට [email protected] විද්‍යුත් ලිපිනයට එවන්න.