Monday, November 25, 2024

General line - 0115112241

"හිතේ හයියෙන් ක්‍රිකට් ගැහුවේ - අම්මට අප්පච්චිට ලොකු වත්කමක් තිබුණේ නැහැ"




ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියාව හමුවේ ඉහළ දක්ෂතා දක්වමින් ගොඩනගා ගත් මානසික ශක්තිය බංග්ලාදේශය සමග ආරම්භ වන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට ද අවියක් කර ගන්නා බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක අසේල ගුණරත්න පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදීයි.

යුද හමුදාවට එක්වීම සිය ක‍්‍රිකට් ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බවද යුද හමුදාවෙන් ලැබූ පුහුණුව පිටියේ දී දක්ෂතා දැක්වීමට පන්නරයක් වූ බවද අසේල ගුණරත්න කියා සිටියා. 

සිය පාසල් විය හා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මුලින්ම පිවිසි ආකාරය ද අසේල ගුණරත්න මෙහිදී සිහිපත් කළා. 

එහිදී අදහස් දැක්වූ අසේල ගුණරත්න සඳහන් කළේ "කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය තමයි මගේ පාසල. පාසල් කාලයේදී තමයි ක්‍රීඩාවට යොමු වුණේ. අවුරුදු 13 න් පහළ සිට ක්‍රිකට් ක්‍රීඩා කළා. 2007 වසරේ යුද හමුදාවට සම්බන්ධ වුණා. පස්සෙ යුද හමුදා කණ්ඩායමේ ක්‍රීඩා කළා. ඒ කාලේ කණ්ඩායම ඇතුළට ආවා.. අයෙත් එළියට ගියා.. ඒ වගේ තමයි හිටියේ. අන්තිම අවුරුදු හතර පහ තමයි හොඳටම සෙල්ලම් කලේ. ඒ නිසා තමයි ජාතික කණ්ඩායමට තේරුණේ." යනුවෙනි.

තමන්ට සහය වූ අයද කෘතවේදීව සිහිපත් කරන බවයි අසේල ගුණරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

එහිදී ඔහු සඳහන් කළේ "මගේ අප්පච්චි සහ අම්මා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයාලට ලොකුවට දේවල් තිබ්බෙ නැහැ මට පහසුකම් දෙන්න. ඒත් හැකි අයුරින් සහයෝගය දුන්නා. හැම වෙලේම අදහස්වලින් මාව මනසිකව පෝෂණය කළා. ඒ වගේම මා පෞද්ගලිකව අදහස් දක්වන පළවෙනි මාධ්‍ය තමයි නෙත් එෆ් එම් රේඩියෝව. නෙත් ආයතනයටත් ගොඩාක් ස්තූතියි මා ගැන සඳහන් කළාට. " යනුවෙනි.

ජයග‍්‍රහණවලදී මෙන්ම පරාජයේ දී ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග රැඳී සිටි සියලු පේ‍්‍රක්ෂකයන්ට ද ප‍්‍රණාමය පුද කරන බව අසේල් ගුණරත්න මෙහිදී කියා සිටියා. 

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු දෙදින තරගයේ දෙවන දිනය අදයි. ඊයේ තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා කඩුලු 07 ක් දැවී ලකුණු 391 ක් ලබාගෙන සිටියා. මෙම තරගය පැවැත්වෙන්නේ මොරටුව, ද සොයිසා ක‍්‍රීඩාංගණයේදීයි.