දැඩි ආන්දෝලනයකට තුඩු දුන් දඹුල්ල මූලික රෝහලේ මව්වරුන්ට උපත් පාලනය සදහා බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර ප්‍රකාශ කළේ තමන් වෙත ලැබී ඇති මූලික පරීක්ෂණයේ වාර්තාව අධ්‍යයනය සදහා විශේෂ මණ්ඩලයකට යොමුකර ඇති බවයි.
මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීම මතයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් සහ පියවරුන්ගෙන් ලද ලිඛිත හා නිර්ණාමික පැමිණිලි ද පදනම් කර ගෙනයි මෙම වාර්තාව සකසා ඇත්තේ.
රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු සියලූම කාර්ය මණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශද ඊට ඇතුළත්.
වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබද නෙත් නිවුස් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළා.
මේ අතර කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පස්මස් ගැබිණි මාතාවක් ඩෙංගු රෝගය වැළදීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශනයක් කි‍්‍රයාත්මකයි. ඒ, ති‍්‍රපුද්ගල කමිටුවක් යටතේයි.