Friday, September 20, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනය කළ බව කියන කණ්ඩායම ගැන හෙළි වෙයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කපිල හින්දවිතාරණ යටතේ ක‍්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අද (20) අනාවරණය වුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකදීයි. මෙම විශේෂ කණ්ඩායම විසින් උපාලි තෙන්කෝන් සහ කීත් නොයාර් යන මාධ්‍යවේදීන්ට ද පහර දීම් සිදු කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම එවකට මාධ්‍යවේදීන්ට එල්ල වූ ප‍්‍රහාරයන්ට මෙම කණ්ඩායම ඝෘජුව සම්බන්ධ වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ.

එම කණ්ඩායම සිම් කාඞ් පත් 05 ක් භාවිත කර ඇති බවත් අදාළ සිද්ධීන්වලට සම්බන්ධ සියලු දුරකථන ඇමතුම් එම සිම් කාඞ්පත් යෙදු දුරකථනවලින් ලබා ගෙන ඇති බවත් අධිකරණයේ දී අනාවරණ වුණා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු යුධ හමුදාපති ෆීල්ඞ් මාෂල් අමාත්‍ය සරත් ෆෝන්සේකාගෙන් ද ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් ලබා ගත්තා.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින බුද්ධි අංශ නිලධාරියාට සෑම මසකම අවසන් ඉරිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහායිම් නියෝග කර තිබෙනවා.

නඩුව ජූනි මස 19 වැනි දා යළි විභාගයට ගැනීමට නියමිතයි. ලසන්ත වික‍්‍රමතුංගගේ දේහය ඉකුත් දා යළි ගොඩගෙන පරීක්ෂාවට ලක් කෙරුනා. එහි වෛද්‍ය වාර්තාව ද මේ වනවිට අධිකරණයට ලැබී තිබෙනවා. ඝාතනය සිදුව ඇත්තේ විශේෂ ආයුධයකින් සිදු කළ පහර දීමකින් හිසට ඇති වූ තුවාලවලින් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.