Friday, September 20, 2024

General line - 0115112241

ණය ගැන රටට කියන්න මිලියන 26 ක් වැය කළා - ඒකට හේතුවත් අගමැති කියයි




දෙමුහුන් අධිකරණයක් රට තුළ පිහිටුවීමට ඉඩ නොතබන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප‍්‍රකාශ කළා.

එහිදී ඔහු කියාසිටියේ විදේශීය විනිසුරුවරුන්ටද මෙරට තුළ නඩු ඇසීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවයි.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවලිය පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ පිළිබඳව අදහස් පළ කළා.

මේ අතර රට මුහුණපා ඇති ණය අර්බුදය පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සඳහා රුපියල් මිලියන විසිහයකට අධික මුදලක් රජය වැය කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. එහිදී මන්තී‍්‍රවරයා විමසා සිටියේ මෙරට ණය පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කොපමණ මුදලක් වැය කර ඇද්ද යන්න පිළිබදවයි.

ඊට පිළිතුරු දුන් අගමැතිවරයා සඳහන් කළේ "මෙම දැවැන්ත ණය අර්බුදය පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමට රජය තීරණය කළා. එය සඟවන්න අවශ්‍ය නැහැ. 2005 වසරේ සිට 2014 වසර දක්වා වැඩි වූ රාජ්‍ය ණය ප්‍රමාණය හා සසඳන විට ප්‍රචාරක වියදම සියයට (දශම) .0005 ප්‍රතිශතයක් පමණයි." යනුවෙනි.

මෙපමණ මුදලක් වැය කර ජනතාව දැනුවත් කිරීමේ අරමුණ කුමක් දැයි මන්තී‍්‍රවරයා මෙහිදී අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ රාජ්‍ය ණය ගෙවීම සම්බන්ධයෙන් ජනතාවගේ සහයෝගය ලබා ගැනීම මෙම ප්‍රචාරණයේ අරමුණ වී තිබූ බවයි.