Saturday, July 27, 2024

General line - 0115112241

ඛණිජ තෙල් වර්ජනය අතහරි (UPDATE)




අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසු වර්ජනය අතහැර දැමීමට ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ තීරණය කර තිබෙනවා.

ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ද ලබාදුන් බවයි.

-------------------------

ඛණිජ තෙල් වර්ජනය තව දුරටත් - අගමැති වෘත්තීය සමිති නියෝජිතයෝ හමුවෙන්න සූදානම්

(24-04-2017 18:58)

තවදුරටත් ක්‍රියාත්මක ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ වර්ජනය සඳහා ඛණිජ තෙල් වෘත්තීය සමිති 06 ක් එක්ව සිටිනවා.

ඔවුන් අද (24) කොලොන්නාව ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.

ඛණිජ තෙල් සංස්ථා සේවකයින් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසක ජනතාව ඉන්ධන ලබා ගත නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටිනවා. 

බොහෝ ඉන්ධන පිරවුම්හල් අසළ දිගු රථ වාහන පෝලිම් දක්නට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.  

මේ අතර ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින්ට ගැටලු සාකච්ඡා කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කරමින් හමුවක් සඳහා වේලාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වය අතර අද රාත්‍රියේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

---------------------------------

ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම් -  සේවකයෝ ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

(24-04-2017 16:57)

ඛණිජ තෙල් සංස්ථා සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය අවසන් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවැත්වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින් වෘත්තීය සමිති සෑහීමකට පත් නොවූ බවයි වාර්තා වෙන්නේ.

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා නෙත් නිවුස් වෙත සඳහන් කළේ ගැටලුවලට විසඳුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවයි.

ඒ අනුව විෂයභාර අමාත්‍යවරයා මේ වන විට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දුරකතනය ඔස්සේ සාකච්ඡා සිදු කරමින් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.