Friday, September 20, 2024

General line - 0115112241

නව ඇමතිවරුන්ට ලැබෙන ආයතන මෙන්න




නව අමාත්‍යාංශ හතරකට අදාළ විෂය පථයන් ගැසට්  කර තිබෙනවා. මුදල් සහ ජනමාධ්‍ය, විදේශ කටයුතු, සංවර්ධන කාර්යභාර හා ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු එම අමාත්‍යාංශ හතරයි. ඒ අනුව මහා භාණ්ඩාගාරයට අමතරව ජාතික අයවැය, නීති කටයුතු, දේශීය ආදායම්, තක්සේරු, සුරාබදු හා ප‍්‍රවෘත්ති ඇතුළු දෙපාර්තමේන්තු මෙන්ම ශී‍්‍ර ලංකා රේගුව හා රක්‍ෂණ මණ්ඩලය ඇතුළු ආයතන 33 ක් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා. 

කෙසේවෙතත් මීට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික ලොතරැුයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැුයි මණ්ඩලය මෙවර ගැසට් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේයි. විදේශගත රාජ්‍ය දූත මණ්ඩල ඇතුළු ආයතන 5 ක් ඊට ඇතුළත්. 

සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශය යටතේ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 3 ක් ගැසට් කර තිබෙනවා. 

ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අයත් ආයතන ගණන 8 ක්. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව, මිනුම්පති දෙපාර්තමේන්තුව සහ කන්තලේ සීනි සමාගමද ඊට ඇතුළත්.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර දිවුරුම් දුන් අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රවි කරුණානායකයි. තිලක් මාරපන සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා වන අතර ගයන්ත කරුණාතිලක ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයායි.