Friday, September 20, 2024

General line - 0115112241

උතුර ගැන හොයන්න ජනපති යාපනයට යයි




උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිඛෙන මුදල් වැය කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නිසි සංවර්ධන සැළසුම් ඔස්සේ එම මුදල් ජනතා යහපත වෙනුවෙන් නිසි අයුරින් වැය කිරීම දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම නිළධාරින්ගේ වගකීම බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ මහා මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය, පානීය ජලය ඇතුලු ජනතාවගේ දෛනික ජීවිතය සඳහා අත්‍යාවශ්‍ය පහසුකම්වල අඩු පාඩු පිළිබඳ මෙහිදී සොයා බැලු ජනාධිපතිවරයා එම අඩුපාඩු කඩිනමින් සපුරාදීමට නිළධාරින්ට උපදෙස් දුන්නා.

එමෙන්ම නැවත පදිංචිකිරීම් කටයුතු පිළිබදව ද සාකච්ඡාවට ලක් වුණා.

නිවාස ඉදිකිරීම සඳහා වැලි ලබා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවට මෙහිදී දේශපාලන නියෝජිතයින් පෙන්වාදුන් අතර එහිදී ජනාධිපති උපදෙස් දුන්නේ පරිසරයට හානියක් නොවන අයුරින් සුදුසු ස්ථානවලින් වැලි සහ බොරථ ලබා ගැනීමට අදාළ නිර්දේශ ලබා දෙන ලෙස තමා අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දෙන බවයි.

ඒ සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන්, පරිසර අධිකාරියේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.