Friday, September 20, 2024

General line - 0115112241

තමාට කළ බව කියන හූනියම දැක ජනපති කී කතාව




පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප‍්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප‍්‍රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා,  සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බව ද සඳහන් කළා.

එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අනුරාධපුරය කැබතිගොල්ලෑව ප‍්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ අද (14) පෙරවරුවේ පැවැති උත්සවයක් අමතමින්.

සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බවද‍ ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙරට රාජ්‍ය මාධ්‍ය, ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිතා කළ අවස්ථාවක් ලෙස සැළකිය හැක්කේ තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව බවද මතක් කළා.

මීළඟ ජනාධිපතිවරයා සිය පවුලෙන් නිර්මාණය කරන්නට තමා තුළ කිසිඳු අවශ්‍යතාවක් නැති බවත් අවශ්‍යතාව ඇත්තේ රට නිවරැදි මාවතකට යොමු කිරීමට බවත් සඳහන් කළා. තමා දුර්වල වී නැති බවද ඇතැමුන් සිතන ලෙස දුර්වල කිරීමට නොහැකි බවත් දුර්වල කිරීමට ඉඩ ලබා දෙන්නේ නැති බවද පැවසුවා.