Friday, September 20, 2024

General line - 0115112241

දරුවන් අත ඇති කෘතිම පෙළපොත් ගැන පැහැදිළි කිරීමක්




2017 වසර සඳහා 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත මුද්‍රණය කිරීමේ දී ඒ සඳහා සාමාන්‍ය කඩදාසි වෙනුවට කෘතිම කඩදාසි යොදාගැනීමෙන් පාසල් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති කරන බව සඳහන් කරමින් පළ කළ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ජනතාව නොමග යවමින් මේ පිළිබඳ අදහස් දක්වා තිබීම හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

ඒ අනුව එහි දැක්වෙන්නේ,

"පසුගිය කාල වකවානුවල සිදු වූ බරපතල ස්වභාවික ව්‍යසන හේතුවෙන් පාසල් දරුවන්ගේ පෙළ පොත් විනාශ වී යාම නිසා ඔවුන් බරපතල අපහසුතාවයට පත් වූ අතර එවැනි තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි  පෙළ පොත් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය. එසේම දැනට ඕෆ්සෙට් ක්‍රමයට මුද්‍රණය කරනු ලබන භූගෝල විද්‍යා පොත්වල මුද්‍රිත සිතියම්වල තත්ත්වය ද  ඉතා දුර්වල මට්ටමක පවතියි. මෙම පෙළපොත්වල සිතියම් ආශ්‍රිතව සහ වර්ණ ආශ්‍රයෙන් ප්‍රශ්න ගොඩනැගෙන බැවින් ඉතා නිවැරදි සිතියම් හා වර්ණ මුද්‍රණය වී තිබීම අත්‍යවශ්‍ය මෙන්ම ඉතා වැදගත් කරුණකි. එමෙන්ම ඕෆ්සෙට් මුද්‍රණ පොත්, සාපේක්ෂව ඉතා ඉක්මණින් කිලිටි වීමේ වැඩි අවදානමක් ද පවතියි.
 
මෙම තත්ත්වය සලකා බලා, වසර පහකට ආසන්න කාලයක් කිසිදු හානියකින් තොරව පරිහරණය කළ හැකි පෙළ පොතක් නිර්මාණය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩල අනුමැතියත්, තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශත්, ටෙන්ඩර් මණ්ඩල අනුමැතියත් හිමි විය. ඒ අනුව 2017 වසර වෙනුවෙන් 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත් (සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය) පිටපත් ලක්ෂ 5ක් මුද්‍රණය කිරීමට පියවර ගෙන ලැබූ අතර ඒ අනුව මුද්‍රණය කළ පෙළ පොත් 2017 ජනවාරි මස සිට පාසල් සිසුන්ට පරිහරණය කිරීමට ලබා දී තිබේ.
 
මෙම පොත මුද්‍රණය කිරීමේ දී යොදා ගන්නා කඩදාසිවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විමසීමක් සිදු කරන ලද අතර එහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කරනු ලැබූ පර්යේෂණ සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව පොත මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද පොලිප්‍රොප්ලීන් කඩදාසි ආනයන අවස්ථාවේ ලබා ගත් SGS සහතිකය අනුව සහ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සිදු කළ පරීක්ෂණවලින් මෙම පොතෙහි කිසිදු බැර ලෝහ වර්ගයක් හෝ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව  තහවුරු කර තිබේ.
 
එසේම 2017 වසරේ ජනවාරි මස මෙම පෙළ පොත් 150,000 ක් පමණ සිසුන්ට ලබා දී ඇති අතර මෙතෙක් ගුරුවරුන්ගෙන් හෝ සිසුන්ගෙන් ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නැහැ.
 
ජාත්‍යන්තරව හා දේශියව පිළිගත් ආයතන මගින් සෞඛ්‍යාරක්ෂිත බවට සහතික කර තිබිය දී කිසිදු පදනමකින් තොරව හුදෙක් පුවත්පත් වාර්තාවක් මත පමණක් පදනම් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අභූත චෝදනා ඉදිරිපත් කරමින් පාසල් දරුවන් සහ දෙමාපියන් අනියත බියකට පත් කර ඇත. පදනමකින් තොර මෙවැනි කටයුතු මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ දරන්නේ රජයට විරුද්ධ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටදැයි සැකයක් ද මේ හරහා මතු වේ.
 
එබැවින් මේ සම්බන්ධව පවතින සත්‍ය තත්වය අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම පදනම් විරහිත අභූත චෝදනා නගමින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව ඉදිරියේ දී නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී ඉලංගසිංහ ප්‍රකාශ කරන ලදී.
 
මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මගින් ගම්‍ය වන්නේ පසුගිය කාලයේ ජනප්‍රිය පාසල් සඳහා තම දරුවන් අසාධාරණ ලෙස ඇතුළත් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන අරමුණු සහ කෝන්තර පිරිමසා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව මාධ්‍ය භාවිතයක යෙදෙන බවයි.

තමන්ගේ දරුවන් පමණක් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් විය යුතු යැයි පවසමින් මෙරට සෙසු දරුවන්ගේ අධ්‍යාපන අයිතියට අභියෝග කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිත් තවදුරටත් දරුවන්ට ලබා දෙන පෙළ පොත ද තම ඊනියා වෘත්තීය සමිති අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ සිද්ධිය අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස අප තරයේ හෙලා දකිමු."