Friday, September 20, 2024

General line - 0115112241

සහල් හිඟය ගැන ජනපතිගේ අවධානය




වෙළඳපල තුළ කිසි විටෙකත් සහල් හිගයක් ඇති විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 
සහල් තොග පවත්වාගෙන යාම සහ ඉදිරි සහල් අවශ්‍යතාවන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. 

වෙළඳපල තුළ සහල් හිගයක් බවට ලැබුණු තොරතුරු අනූව මෙම සාකච්ඡාව කැඳවා තිබූ අතර ගබඩාවල පවතින සහල් තොග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අවශ්‍ය පරිදි සහල් තොග පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිරන්තරයෙන් ඒ පිළිබඳ අධීක්ෂණය කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. 

පාලන මිළට වඩා වැඩි මිළ ගණන්වලට සහල් අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන අසීරුතාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. 

මේ අතර මහනුවර අස්ගිරිය ශ‍්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ සහභාගි වුණා. 

පාසල් දරුවන්ගේ නිළ ඇදුම වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ.