Friday, September 20, 2024

General line - 0115112241

කුරුණෑගල ආගමික සිද්ධස්ථානයකට බෝම්බ එල්ල කළ දෙදෙනෙකු අත්අඩංගුවට




කුරුණෑගල මල්ලවපිටිය ආගමික සිද්ධස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ. 

එම සැකකරුවෙකුට අයත් වැල්ලව ප‍්‍රදේශයේ කඩ කාමරයක තිබී සිංහලේ ජාතික පුවත්පතේ පිටපත්, ගොවිජන පෙරමුණ නමින් මුද්‍රිත පෝස්ටර් බොදුබල සේනා මහා සඝ සමුළුව වශයෙන් සඳහන් පෝස්ටර් ඇතුළු ලිපි තොගයක් සොයා ගත් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා. 

මේ අතර පසුගිය ජූනි 12 වැනිදා සිංහලේ සංවිධානයේ  සභාපති තුෂාර සාලිය රණවකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඔහුගේ බිරිඳට මරණ තර්ජන කළේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමක් සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

සිංහලේ සංවිධානයේ සභාපතිවරයා වන සාලිය රණවක සහ සිංහලේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් වෙත දානපතියන් විසින් එවන ලද මුදල් සම්බන්ධව ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.