Saturday, May 4, 2024

General line - 0115112241

නානු ඔය දැරියගේ අවසන් කටයුතු අධිකරණ නියෝගයකට අනුව




නානු ඔය නගරයේ පදික මාරුවක දී ටිපර් රථයක ගැටී මිය ගිය දෙව්මිණී ආකාර්ශා දැරියගේ අවසන් කටයුතු අද (17) සිදු කෙරෙනවා. මේ හේතුවෙන් නානුඔය නගරයට සහ දැරියගේ නිවස පිහිටි ප‍්‍රදේශවලට අද දිනයේ විශේෂ ආරක්ෂාවක් යෙදවීමටයි පොලිසිය තීරණය කර ඇත්තේ. ඒ අනූව නානු ඔය නගරය සහ අවට ප‍්‍රදේශවල ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමට තීරණය කර තිබෙනවා. 

මේ අතර මිය ගිය දැරියගේ නිවසේ සිට අවසන් කටයුතු සිදු කරන සුසාන භූමියට යන සාමාන්‍ය මාර්ගය හැර විකල්ප මාර්ගවලින් දේහය රැගෙන යාම වලක්වාලමින් නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් ද නිකුත් කර තිබෙනවා. ඒ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනූවයි.

ඉකුත් බ‍්‍රහස්පතින්දා ටිපර් රථයක ගැටී දැරිය මිය යාමෙන් පසු ප‍්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වීමත් සමග නානුඔය නගරයේ නොසන්සුකාරී තත්ත්වයක් ඇති වුණා. අනතුර සිදු කළ රියදුරා තමන්ට භාර දෙන්නැයි ඉල්ලමින් එම පිරිස උද්ඝෝෂණයේ නිරත වුණා. සිද්ධිය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවට පොලිසිය ලබා දුන් ලිඛිත පොරොන්දුවක් අනුව උද්ඝෝෂකයින් විසර ගියා. මෙම සිද්ධියෙන් පසු නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත් දෙනෙකු   නුවරඑළිය මූලස්ථාන පොලිසිය වෙත මාරුකර යැවුණා.