සයිටම් අර්බුදය තුලින් ලෝක සම්මුතියක් විනාශ වී රෝගී ජිවිත අනතුරට පත් කිරීමට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට (05) දිනයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට තීරණය කර තිබුණා.
ජනාධිපතිවරයා මෙම ගැටළුව බොහෝ දුරට විසඳීමට කටයුතු කල බවද එය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා එතුමා අතර ජුනි මස 24 වෙනිදා එකඟ වු කාරණා තුලින් පිළිඹිඹු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
නමුත් මේ සියල්ල අවුල් කර සියළුම එකඟතා බිඳ දැමීමට ඇමතිවරයෙකු කටයුතු කරන බවත් ඔහුගේ ක්‍රියාකලාපය නිසා රටම අවුල් ජාලාවකට තල්ලු වෙමින් පවතින බවත් සයිටම් අර්බුදය දැඩි අර්බදකාරී තත්ත්වයකට යොමු වෙමින් ඇති බවත් සඳහන් කරනවා.
කෙසේ නමුත් වැඩ වර්ජනය ප්‍රකාශයට පත් වීමෙන් පසු මේ දක්වා කාලය තුල විවිධ පාර්ශවවලින් ලැබෙමින් පවතින ප්‍රතිචාර පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ අවධානය යොමුව ඇති බවයි පැවසුවේ.
ඒ අනුව ඊයේ දිනය තුල සභානායක ලක්ෂමන් කිරිඇල්ල සමඟ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදි ලද ප්‍රතිචාර දිරිගන්වන සුලු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ පිළිබඳ ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් ඉතා කඩිනමින් රට හමුවේ තැබෙනු ඇතැයි යන්න විශ්වාසය බවද සඳහන් කළා. ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයාට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම එකඟතා පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් වීමට ද නියමිතය බවයි සඳහන් කරන්නේ.
එමෙන්ම ඊයේ දිනය තුල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජත පිරිසක් අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදැක මේ පිළිබඳ සාකච්ඡා සිදු කරා.
මීට අමතරව අතිගරු මැල්කම් රංජිත් ප්‍රනාන්දු කාදිනල්තුමා ඇතුළු පුජ්‍ය පක්ෂයත්, අද දින තුල මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබුණා. අද දින හවස 4.00ට එතුමා හමුවීම සඳහා අවස්ථාවක් ලැබි ඇති බවද පෙන්වා දුන්නා.
මේ සියලු කරුණු ගැඹුරින් අධ්‍යනය කල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව හෙට (05) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු අඛණ්ඩ වැඩ වර්ජනය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කරන බවයි පෙන්වා දුන්නේ.
කෙසේ වුවත් මොනයම් හෝ ආකාරයකින් සයිටම් නීතිගත කිරීම සඳහා මතභේදාත්මක තීරණවලට එලඹීමට බලධාරින් ක්රියාකලහොත් එම මොහොතේම අඛණ්ඩ ක්‍රියාදාමයකට යොමු වීමට විධායක කමිටුව තීරණය කළ බවද අවධාරණය කරනවා.