Thursday, May 2, 2024

General line - 0115112241

"සිම්බාබ්වේට තවත් සුපිරි ජයක්" - සංගා තැබූ සටහන




සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (08) වාර්තා කළ ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම තවත් සුපිරි ජයක් වාර්තා කර ඇති බවයි. 

මේ අතර නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එක්ව ආරම්භක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා පිළට ලකුණු 300 කට එහා ඉලක්කයක් පෙන්වා දුන් බවද සඳහන් කර තිබෙනවා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ වාර්තා කළේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කිසිසේ්ත් නොසිතූ ජයක්.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම එම ජය වාර්තා කළේ ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර  නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 209ක සබඳතාවයක් එක් කරනු ලැබුවා.  

සිම්බාබ්වේ කණ්ඩායම  පන්දුවට පහරදෙමින් සිටින විට වර්ෂාව ඇතිවූ අතර  ඩක්වත් ලුවිස් න්‍යාය අනුව  පන්දුවාර 31කට තරගය සීමා කෙරුණා.

ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ඒ අනුව පන්දුවාර 10ක් තුළ ලකුණු 80ක් ලබාගත යුතු වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී එම ජය හිමිකර ගත්තා.

මෙම තරගාවලියේ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 04 ක් මේ වන විට පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවනවා. ඒ අනුව ඉදිරියේදී පවත්වන අවසන් තරගය කණ්ඩායම් දෙකටම වඩාත් තීරණාත්මක වෙනු ඇති.